4. 4. 2. 10.
10. යුගනද්‍ධ සූත්‍රය
170. “එක් කාලයෙක්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ කොසඹෑ නුවර ඝොෂිතාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, ‘ඇවැත්නි, මහණෙනි’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු, ‘ඇවැත්නි’ යි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට ප්‍රතිවචන දුන්හ.
“ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, ‘ඇවැත්නි, යම්කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ මා සමීපයෙහි අර්‍හත්‍වයට පැමිණීම ප්‍රකාශ කරයිද, ඒ සියල්ල සතර මාර්‍ගයන්ගෙන්ද මොවුන්ගෙන් හෝ එක්තරා එකකිනි. කවර සතරකින්ද යත්,
“ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම සමථය (කෙලෙස් වඩා තැබීම) පෙරටුකොට ඇති විදර්‍ශනාව වඩයි. සමථය පූර්‍වඞ්ගමකොට ඇති විදර්‍ශනාව වඩන ඔහුට මාර්ගය උපදියි. “හෙතෙම ඒ මාර්‍ගය සේවනය කරයි. වඩයි. බහුල වශයෙන් කරයි. ඒ මාර්‍ගය ආසේවනය කරණ, වඩන, බහුල වශයෙන් කරණ ඔහුට සංයෝජනයෝ ප්‍රහීන වෙත්. අනුශය කෙලෙස් කෙළවර වේ.
“ඇවැත්නි, නැවතද මහණ තෙම විදර්‍ශනාව පෙරටුකොට ඇති සමථය වඩයි. විදර්‍ශනය පූර්‍වඞ්ගම කොට ඇති සමථය ධ්‍යානය වඩන්නාට මාර්ගය පහළ වේ. “හෙතෙම ඒ මාර්‍ගය සේවනය කරයි. වඩයි. බහුල වශයෙන් කරයි. ඒ මාර්‍ගය ආසේවනය කරණ, වඩන, බහුල වශයෙන් කරණ ඔහුට සංයෝජනයෝ ප්‍රහීන වෙත්. අනුශය කෙලෙස් කෙළවර වේ.
“ඇවැත්නි, නැවතද මහණතෙම සමථය හා විදර්‍ශනාව සම සමව වඩයි. සමථය හා විදර්‍ශනාව සම සමව වඩන ඔහුට මාර්‍ගය හැඳිනේ. හෙතෙම ඒ මාර්‍ගය සේවනය කරයි. වඩයි. බහුල වශයෙන් කරයි. ඒ මාර්‍ගය ආසේවනය කරණ, වඩන, බහුල වශයෙන් කරණ ඔහුට සංයෝජනයෝ ප්‍රහීන වෙත්. අනුශය කෙලෙස් කෙළවර වේ.
“ඇවැත්නි, නැවතද මහණහට මානය වේද, යම් ඒ සිතක් අධ්‍යාත්මයෙහිම සිටීද, හිඳීද, එකට පහළවේද, සමාධි ගත වේද, ඔහුට මාර්‍ගය උපදී. හෙතෙම ඒ මාර්‍ගය සේවනය කරයි. වඩයි. බහුල වශයෙන් කරයි. ඒ මාර්‍ගය ආසේවනය කරණ, වඩන, බහුල වශයෙන් කරණ ඔහුට සංයෝජනයෝ ප්‍රහීන වෙත්. අනුශය කෙලෙස් කෙළවර වේ.
“ඇවැත්නි, යම්කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ මා සමීපයෙහි අර්‍හත්ව ප්‍රාප්තිය ප්‍රකාශ කරයිද, ඒ සියල්ල මේ සතර මාර්‍ගයෙහි මොවුන්ගෙන් එකකිනැයි වදාළේය.”
දාහත්වෙනි ප්‍රතිපදා වර්‍ගය නිමි.
(18) 3. සඤ්චෙතනිය වර්‍ගය
4. 4. 3. 1.
1. සඤ්චෙතනා හේතුක සූත්‍රය
[සැවැත් නුවරදී ය]
21. “මහණෙනි, කය හෝ ශරීරයේ සිතුවිලි හේතුවූ කල්හි අධ්‍යාත්මයෙහි සැප දුක උපදී. මහණෙනි, වචනයාගේ හෝ වාග් සඤ්චෙතනාවගේ හේතුවෙන් අධ්‍යාත්මයෙහි සැප දුක් උපදී. මහණෙනි, සිත් හා මනො සංචෙතනා හේතුවෙන් හෝ අවිද්‍යා හේතුවෙන් හෝ අධ්‍යාත්මයෙහි සැප දුක් උපදී.
“යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි සැප දුක් උපදීද, ඒ කාය සංස්කාරය තමා හෝ සකස් කරයි. යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි සුව දුක් උපදීද, ඒ කාය සංස්කාරය අනුන් හෝ රැස් කරයි. යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි සුව දුක් පහළවේද, සම්‍යක් ප්‍රඥාවෙන් හෝ ඒ කාය සංස්කාරය රැස්කරයි. යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි සැප දුක් පහළවේද, නොසිහියෙන් හෝ ඒ කාය සංස්කාරය රැස් කරයි.
“යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි ඒ සුව දුක් පහළවේද, තෙමේ හෝ ඒ වාග් සංස්කාරය රැස්කරයි. යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි ඒ සුව දුක් පහළවේද, මහණෙනි, අනුන් හෝ ඒ වාග් සංස්කාරය රැස්කරයි. යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි ඒ සුව දුක් පහළවේද, සම්‍යක් ප්‍රඥාවෙන් හෝ ඒ වාග් සංස්කාරය රැස්කරයි. යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි ඒ සුව දුක් පහළවේද, නොසිහියෙන් හෝ මහණෙනි, ඒ වාග් සංස්කාරය රැස්කරයි.
“යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි ඒ සුව දුක් පහළවේද, තෙමේ හෝ මහණෙනි, ඒ මනො සංස්කාරය රැස්කරයි. යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි ඒ මනො සංස්කාරය පහළවේද, අනුන් හෝ මහණෙනි, ඒ මනො සංස්කාරය රැස්කරයි. යමක් ප්‍රත්‍යය වීමෙන් ඒ මනො සංස්කාරය පහළවේද, සම්‍යක් ප්‍රඥාවෙන් හෝ ඒ මනො සංස්කාරය රැස්කරයි. යමක් ප්‍රත්‍යය වීමෙන් ඒ මනො සංස්කාරය පහළවේද, නොසිහියෙන් හෝ, මහණෙනි, ඒ මනො සංස්කාරය රැස්කරයි.
“යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි ඒ සුව දුක් පහළවේද, මේ ධර්‍මයන්හි අවිද්‍යාව පතිතවූවාය. අවිද්‍යාවගේම ඉතුරු නොකොට නිරුද්‍ධවීමෙන්, යමක් හේතුකොටගෙන අධ්‍යාත්මයෙහි සුව දුක් උපදීද, ඒ ශරීරය නොවේ. යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි සුව දුක් උපදීද, ඒ වචනයෝ නොවෙත්. යමක් ප්‍රත්‍යයවීමෙන් අධ්‍යාත්මයෙහි සුව දුක් උපදීද, ඒ සිත නොවේ.