4. 3. 4. 9.
ධම්මකථික සූත්‍රය
39. මහණෙනි, මේ ධර්‍ම කථිකයෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ධර්‍ම කථිකයෙක් තේරුමක් නැතිව ස්වල්පයක් කියයි. පිරිසද අර්‍ථ අනර්‍ථයන්හි දක්‍ෂ නොවේද, මහණෙනි, මෙබඳු ධර්‍ම කථික තෙම මෙබඳු පිරිසක ධර්‍ම කථිකයාය යන සංඛ්‍යාවට යයි.
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ධර්‍ම කථිකයෙක් අර්‍ථ සහිතව ස්වල්පයක් කියයි. පිරිසද අර්‍ථ අනර්‍ථ දෙකේහි දක්‍ෂද, මහණෙනි, මෙබඳු ධර්‍ම කථික තෙම මෙබඳු පිරිසට ධර්‍ම කථිකයෙකැයි සංඛ්‍යාවට යයි.
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ධර්‍ම කථිකයෙක් අර්‍ථ රහිතව බොහෝ කියයි. පිරිසද අර්‍ථ අනර්‍ථ දෙකේ අදක්‍ෂද මහණෙනි, මෙබඳු ධර්‍ම කථික තෙම මෙබඳු පිරිස මැද ධර්‍ම කථිකයෙක යන සංඛ්‍යාවට යයි.
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ධර්‍ම කථිකයෙක් අර්‍ථ සහිතව බොහෝ කියයි. පිරිසද අර්‍ථානර්‍ථ දැනීමේ දක්‍ෂය. මහණෙනි, එබඳු ධර්‍ම කථික තෙම මෙබඳු පිරිස මැද ධර්‍ම කථිකය යන සංඛ්‍යාවට යයි.
මහණෙනි, මේ සතර ධර්‍ම කථිකයෝය.
4. 3. 4. 10.
වාදී සූත්‍රය
40. මහණෙනි, මේ වාදීහු සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
මේ ලෝකයෙහි ඇතැම් වාදියෙක් අර්‍ථ කථා වශයෙන් කියන්ට නොහැකිවෙයි. ව්‍යඤ්ජන වශයෙන් කිව හැකිවෙයි. මහණෙනි, ව්‍යඤ්ජන වශයෙන් නොකිව හැකි, අර්‍ථ වශයෙන් කිව හැකි වාදියෙක්ද ඇත. අර්‍ථ වශයෙනුත්, ව්‍යඤ්ජන වශයෙනුත් කිව හැකි වාදියෙක් ඇත. අර්‍ථ වශයෙනුත්, ව්‍යඤ්ජන වශයෙනුත් නොකිව හැකි වාදියෙක් ඇත.
මහණෙනි, මේ වාදීන් සතර දෙනාය. සතර ප්‍රතිසම්භිදාවන් ගෙන් යුත් භික්‍ෂුවට අර්‍ථ වශයෙනුත්, ව්‍යඤ්ජන වශයෙනුත් නොකිව හැක්කේය යන මෙය නොසිදු වන්නකි.
පුද්ගල වර්‍ගය සිවුවැන්නයි.
5. ආභා වර්‍ගය
4. 3. 5. 1.
ආභා සූත්‍රය
[සැවැත් නිදානයි]
41. මහණෙනි, මේ ආභා (ආලෝක) සතරක් වෙත්. කවර සතරක්ද යත්?
චන්දාභා, සූරියාභා, අග්ගාභා, පඤ්ඤාභා.
මහණෙනි, මේ සතර ආලෝකයෝය. මහණෙනි, මේ සතර ආලෝකයන්ගෙන් ප්‍රඥාලෝකය ශ්‍රේෂ්ඨයි.
4. 3. 5. 2.
පභා සූත්‍රය
42. මහණෙනි, මේ ප්‍රභාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක්ද යත්?
චන්දප්පභා, සුරියප්පභා, අග්ගිප්පභා, පඤ්ඤාපභා.
මහණෙනි, මේ සතර ප්‍රභාවෝයි. මහණෙනි, මේ සතර ප්‍රභාවන්ගෙන් යම් මේ ප්‍රඥා ප්‍රභාවයක් ඇද්ද, එය අග්‍රයි.