4. 3. 4. 6.
පරිපූරකාරීපුග්ගල සූත්‍රය
36. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝ්කයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සීලයන් සම්පූර්‍ණ නොකරන්නේද, සමාධිය සම්පූර්‍ණ නොකරන්නේ වේද, ප්‍රඥාව සම්පූර්‍ණ නොකරන්නේ වේද. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සීලයන් සම්පූර්‍ණ කරන්නේ වේද, සමාධිය සම්පූර්‍ණ නොකරන්නේ වේද, ප්‍රඥාව සම්පූර්‍ණ නොකරන්නේ වේද. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සීලය සම්පූර්‍ණ කරන්නේ වේද, සමාධිය සම්පූර්‍ණ කරන්නේ වේද, ප්‍රඥාව සම්පූර්‍ණ නොකරන්නේ වේද. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සීලයන් සම්පූර්‍ණ කරන්නේ වේද, සමාධිය සම්පූර්‍ණ කරන්නේ වේද, ප්‍රඥාව සම්පූර්‍ණ කරන්නේ වේද.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
4. 3. 4. 7.
ගරුපුග්ගල සූත්‍රය
37. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝ්කයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සීලය ගරුකොට නැත්තේ වේද, සීලය අධිපතිකොට නැත්තේ වේද, සමාධිය ගරුකොට නැත්තේ වේද, සමාධිය අධිපතිකොට නැත්තේ වේද, ප්‍රඥාව ගරුකොට නැත්තේ වේද, ප්‍රඥාව අධිපතිකොට නැත්තේ වේද.
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සීලය ගරුකොට ඇත්තේ වේද, සීලය අධිපතිකොට ඇත්තේ වේද, සමාධිය ගරුකොට නැත්තේ වේද, සමාධිය අධිපතිකොට නැත්තේ වේද, ප්‍රඥාව ගරුකොට නැත්තේ වේද, ප්‍රඥාව අධිපතිකොට නැත්තේ වේද.
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සීලය ගරුකොට ඇත්තේ වේද, සීලය අධිපතිකොට ඇත්තේ වේද, සමාධිය ගරුකොට ඇත්තේ වේද, සමාධිය අධිපතිකොට ඇත්තේ වේද, ප්‍රඥාව ගරුකොට නැත්තේ වේද, ප්‍රඥාව අධිපතිකොට නැත්තේ වේද.
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සීලය ගරුකොට ඇත්තේ වේද, සීලය අධිපතිකොට ඇත්තේ වේද, සමාධිය ගරුකොට ඇත්තේ වේද, සමාධිය අධිපතිකොට ඇත්තේ වේද, ප්‍රඥාව ගරුකොට ඇත්තේ වේද, ප්‍රඥාව අධිපතිකොට ඇත්තේ වේද.
මහණෙනි, මේ පුද්ගලයෝ සතරදෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
4. 3. 4. 8.
නිකට්ඨපුග්ගල සූත්‍රය
38. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝ්කයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
කයින් ගමින් පිටවූ, සිත ගමෙහිම ඇති පුද්ගලයාය. කය ගමෙහි ඇති, සිත ගමෙහි නැති පුද්ගලයාය. කය සිත දෙකම ගමෙහි ඇති පුද්ගලයාය. කය ගමෙහි නැති, සිතද ගමෙහි නැති පුද්ගලයාය.
මහණෙනි, කෙසේ පුද්ගල තෙම කයින් ගමින් පිටවූයේ වේද, සිත ගමෙහි ඇත්තේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වනයෙහි වානප්‍රස්ත ප්‍රාන්ත සේනාසනවල වසයි. හෙතෙම එහි කාම විතර්‍කයන්ද සිතයි. ව්‍යාපාද විතර්‍කද සිතයි. විහිංසා විතර්‍කද සිතයි. මහණෙනි, මෙසේ පුද්ගල තෙම කයින් ගමින් පිටවූයේ වේ. සිතින් ගමින් පිටවූයේ නොවේ.
මහණෙනි, කෙසේ පුද්ගල තෙම කයින් ගමින් පිට නොවූයේ වේද, සිතින් ගමින් පිටවූයේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කැලේ වානප්‍රස්ත ප්‍රාන්ත සේනාසන සේවනය නොකරයි. හෙතෙම එහිදීම නෛෂ්ක්‍රම්‍ය විතර්‍කයන් සිතයි. අව්‍යාපාද විතර්‍කයන් සිතයි. අවිහිංසා විතර්‍කයන් සිතයි. මහණෙනි, පුද්ගල තෙම මෙසේ කයින් ගමින් පිටවූයේ නොවේ. සිතින් ගමින් පිටවූයේ වේ.