4. 3. 4. 7.
ගරුපුග්ගල සූත්‍රය
37. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝ්කයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සීලය ගරුකොට නැත්තේ වේද, සීලය අධිපතිකොට නැත්තේ වේද, සමාධිය ගරුකොට නැත්තේ වේද, සමාධිය අධිපතිකොට නැත්තේ වේද, ප්‍රඥාව ගරුකොට නැත්තේ වේද, ප්‍රඥාව අධිපතිකොට නැත්තේ වේද.
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සීලය ගරුකොට ඇත්තේ වේද, සීලය අධිපතිකොට ඇත්තේ වේද, සමාධිය ගරුකොට නැත්තේ වේද, සමාධිය අධිපතිකොට නැත්තේ වේද, ප්‍රඥාව ගරුකොට නැත්තේ වේද, ප්‍රඥාව අධිපතිකොට නැත්තේ වේද.
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සීලය ගරුකොට ඇත්තේ වේද, සීලය අධිපතිකොට ඇත්තේ වේද, සමාධිය ගරුකොට ඇත්තේ වේද, සමාධිය අධිපතිකොට ඇත්තේ වේද, ප්‍රඥාව ගරුකොට නැත්තේ වේද, ප්‍රඥාව අධිපතිකොට නැත්තේ වේද.
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සීලය ගරුකොට ඇත්තේ වේද, සීලය අධිපතිකොට ඇත්තේ වේද, සමාධිය ගරුකොට ඇත්තේ වේද, සමාධිය අධිපතිකොට ඇත්තේ වේද, ප්‍රඥාව ගරුකොට ඇත්තේ වේද, ප්‍රඥාව අධිපතිකොට ඇත්තේ වේද.
මහණෙනි, මේ පුද්ගලයෝ සතරදෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
4. 3. 4. 8.
නිකට්ඨපුග්ගල සූත්‍රය
38. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝ්කයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
කයින් ගමින් පිටවූ, සිත ගමෙහිම ඇති පුද්ගලයාය. කය ගමෙහි ඇති, සිත ගමෙහි නැති පුද්ගලයාය. කය සිත දෙකම ගමෙහි ඇති පුද්ගලයාය. කය ගමෙහි නැති, සිතද ගමෙහි නැති පුද්ගලයාය.
මහණෙනි, කෙසේ පුද්ගල තෙම කයින් ගමින් පිටවූයේ වේද, සිත ගමෙහි ඇත්තේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වනයෙහි වානප්‍රස්ත ප්‍රාන්ත සේනාසනවල වසයි. හෙතෙම එහි කාම විතර්‍කයන්ද සිතයි. ව්‍යාපාද විතර්‍කද සිතයි. විහිංසා විතර්‍කද සිතයි. මහණෙනි, මෙසේ පුද්ගල තෙම කයින් ගමින් පිටවූයේ වේ. සිතින් ගමින් පිටවූයේ නොවේ.
මහණෙනි, කෙසේ පුද්ගල තෙම කයින් ගමින් පිට නොවූයේ වේද, සිතින් ගමින් පිටවූයේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කැලේ වානප්‍රස්ත ප්‍රාන්ත සේනාසන සේවනය නොකරයි. හෙතෙම එහිදීම නෛෂ්ක්‍රම්‍ය විතර්‍කයන් සිතයි. අව්‍යාපාද විතර්‍කයන් සිතයි. අවිහිංසා විතර්‍කයන් සිතයි. මහණෙනි, පුද්ගල තෙම මෙසේ කයින් ගමින් පිටවූයේ නොවේ. සිතින් ගමින් පිටවූයේ වේ.
මහණෙනි, කෙසේ පුද්ගල තෙම කයින් ගමින් පිට නොවූයේ වේද, සිතින් ගමින් පිටනොවූයේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අරණ්‍යයෙහි වානප්‍රස්ත ප්‍රාන්ත සේනාසනවල නොවසයි. හෙතෙම එහි කාම විතර්‍කද සිතයි. ව්‍යාපාද විතර්‍කද සිතයි. විහිංසා විතර්‍කද සිතයි. මහණෙනි, මෙසේ පුද්ගල තෙම කයින් ගමින් පිටනොවූයේද නොවේ. සිතින් ගමින් පිටනොවූයේද වේ.
මහණෙනි, කෙසේ පුද්ගල තෙම කයින් ගමින් පිට වූයේද, සිතින් ගමින් පිටවූයේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වනයෙහි වානප්‍රස්ත ප්‍රාන්ත සේනාසන ආශ්‍රය කරයි. හෙතෙම එහි නෛෂ්ක්‍රම්‍ය විතර්‍කද සිතයි. අව්‍යාපාද විතර්‍කද සිතයි. අවිහිංසා විතර්‍කද සිතයි. මහණෙනි, මෙසේ පුද්ගල තෙම නික්මුණු කය ඇත්තේද, නික්මුණු සිත ඇත්තේද වේ.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
4. 3. 4. 9.
ධම්මකථික සූත්‍රය
39. මහණෙනි, මේ ධර්‍ම කථිකයෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ධර්‍ම කථිකයෙක් තේරුමක් නැතිව ස්වල්පයක් කියයි. පිරිසද අර්‍ථ අනර්‍ථයන්හි දක්‍ෂ නොවේද, මහණෙනි, මෙබඳු ධර්‍ම කථික තෙම මෙබඳු පිරිසක ධර්‍ම කථිකයාය යන සංඛ්‍යාවට යයි.
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ධර්‍ම කථිකයෙක් අර්‍ථ සහිතව ස්වල්පයක් කියයි. පිරිසද අර්‍ථ අනර්‍ථ දෙකේහි දක්‍ෂද, මහණෙනි, මෙබඳු ධර්‍ම කථික තෙම මෙබඳු පිරිසට ධර්‍ම කථිකයෙකැයි සංඛ්‍යාවට යයි.
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ධර්‍ම කථිකයෙක් අර්‍ථ රහිතව බොහෝ කියයි. පිරිසද අර්‍ථ අනර්‍ථ දෙකේ අදක්‍ෂද මහණෙනි, මෙබඳු ධර්‍ම කථික තෙම මෙබඳු පිරිස මැද ධර්‍ම කථිකයෙක යන සංඛ්‍යාවට යයි.
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ධර්‍ම කථිකයෙක් අර්‍ථ සහිතව බොහෝ කියයි. පිරිසද අර්‍ථානර්‍ථ දැනීමේ දක්‍ෂය. මහණෙනි, එබඳු ධර්‍ම කථික තෙම මෙබඳු පිරිස මැද ධර්‍ම කථිකය යන සංඛ්‍යාවට යයි.
මහණෙනි, මේ සතර ධර්‍ම කථිකයෝය.