4. 3. 2. 2.
2. අජ්ජව සූත්‍රය
12. “මහණෙනි, අඞ්ග සතරකින් යුත් රජහුගේ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසුවේ. රාජභොගය රජුට අග්‍රය යන සංඛ්‍යාවට යයි.”
“කවර සතරකින්ද යත්? ඎජු බැවින්ද, පාදවේගයෙන්ද, ඉවසීමෙන්ද, පිරිසිදු ස්වභාවයෙන්ද,”
“මහණෙනි, මේ සතර අඞ්ගයෙන් යුත් රජහුගේ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසු වේ. රාජභොගවේ. රජුට අග්‍රය යන සංඛ්‍යාවට යේ.”
“මහණෙනි, එසේම අඞ්ග සතරකින් යුත් මහණ තෙම දුර සිට අවුත් පිදීමට යෝග්‍යවේ. ඈතට ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍ය වේ. දක්‍ෂිණාවට සුදුසු වේ. අංජලීකරණය හෙවත් දෑත් හිස තබා වැඳීමට යෝග්‍යවේ. ලෝකයාගේ නිරුත්තර පුන්‍යක්‍ෂෙත්‍රයය.”
“කවර සතරකින්ද යත්? උජුභාවයෙන්, ඤාණජවයෙන්, ඉවසීමෙන්, සිල්වත්කමින් යන සතරිනි.”
“මහණෙනි, මේ අඞ්ග සතරින් යුක්ත මහණ තෙම දුර සිට අවුත් පිදීමට යෝග්‍යවේ. ඈතට ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍ය වේ. දක්‍ෂිණාවට සුදුසු වේ. අංජලීකරණය හෙවත් දෑත් හිස තබා වැඳීමට යෝග්‍යවේ. ලෝකයාගේ නිරුත්තර පුන්‍යක්‍ෂෙත්‍රය.”
4. 3. 2. 3.
3. පතොදසුත්තං
13. “මහණෙනි, මේ යහපත් ආජානෙය අශ්වයන් සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?”
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් යහපත් ආජානෙය අශ්වයෙක් කෙවිටෙහි සෙවනැල්ල දැක, ‘කිමෙක්ද, මට අද අශ්වදම්මසාරථී තෙම දඬුවම් කරන්නේද, ඊට මම කුමන ප්‍රතිකාරයක් කරම්දැ’ යි දනී. සංවේගයට පැමිණේ. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් මෙබඳු යහපත් ආජානෙය්‍ය අශ්වයෙක් වේ. මහණෙනි, මේ පළමුවෙනි යහපත් ආජානෙය අශ්වයා ලෝකයෙහි ඇත්තාහ, විද්‍යමාන වෙත්.”
“මහණෙනි, නැවතද අනිකක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් යහපත් ආජානෙය අශ්වයෙක් කෙවිටි සෙවනැල්ල දැක නොදනී. සංවේගයට නොපැමිණේ. වැලිදු රෝමකූපයෙහි කැවිටේ ඇනයෙන් විදින්නේ දනී. සංවේගයට පැමිණේ. ‘කුමක් සඳහා මට අද අශ්වදම්මසාරථී තෙම දඬුවම් කරන්නේද, ඊටම කවර ප්‍රතිකර්මයක් කරම්ද?’ මහණෙනි, මෙහි මෙබඳුවූ ඇතැම් යහපත් ආජානෙය්‍ය අශ්වයෙක් වේ. මහණෙනි, මේ දෙවෙනි යහපත් ආජානෙය අශ්වයෙක් ලෝකයෙහි ඇත්තාහ, විද්‍යමාන වේ.”
“නැවතද මහණෙනි, මේ ලෝකයෙහි යහපත් ආජානෙය අශ්වයෙක් කැවිටි සෙවනැල්ල දැක ගණන් නොගනී. සංවේගයට නොපැමිණේ. රෝමකූපයෙහි කැවිටේ ඇනයෙන් විදුනේ ගනන් නොගනී. සංවේගයට නොපැමිණේ. එහෙත් සමෙහි ඇනයෙන් විදුනේ දනී. සංවේගයට පැමිණේ. ‘කිමෙක්ද, මා අද අශ්වදම්මසාරථී තෙම දඬුවම් කරන්නේද, මම ඔහුට කවර ප්‍රතිකර්මයක් කරම්ද?’ මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවූ යහපත් ආජානෙය අශ්වයෙක් වේ. මහණෙනි, මේ තුන්වෙනි යහපත් ආජානෙය අශ්වයෙක් ලෝකයෙහි ඇත්තාහ, විද්‍යමාන වෙත්.”
“මහණෙනි, නැවත මේ ලෝකයෙහි ඇතැම් යහපත් ආජානෙය අශ්වයෙක් කැවිටි සෙවනැල්ල දැක ගණන් නොගනී. සංවේගයට නොපැමිණේ. රෝමකූපයෙහි විදින ලද්දේ ගනන් නොගනී. සංවේගයට නොපැමිණේ. සම විදින ලද්දේ ගණන් නොගනී. එතකුදු වුවත් ඇට විදින ලද්දේ දනී. සංවේගයට පැමිණේ. ‘කුමක් සඳහා, මා අද අශ්වදම්මසාරථී තෙම දඬුවම් කරන්නේද, මම ඔහුට කවර ප්‍රතිකර්මයක් කරන්නේදැ’ යි සංවෙගයට පැමිණේ. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවූද යහපත් ආජානෙය අශ්වයෙක් වේ. මහණෙනි, මේ සතරවෙනි යහපත් ආජානෙය අශ්වයෙක් ලෝකයෙහි ඇත්තාහ, විද්‍යමාන වෙත්.”
“මහණෙනි, මේ යහපත් සතර ආජානෙය අශ්වයෝ ලෝකයෙහි ඇත්තාහ, විද්‍යමාන වෙත්.”
“මහණෙනි, එසේම මේ යහපත් අජානෙය පුරුෂයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?”