4. 3. 1. 9.
9. රුක්ඛොපම සූත්‍රය
9. “මහණෙනි, මේ වෘක්‍ෂයෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
එලය පිරිවර කොට ඇති එලය, හරය පිරිවර කොට ඇති එලය, එලය පිරිවර කොට ඇති හරය, හරය පිරිවර කොට ඇති හරය, යන සතර දෙනයි. මහණෙනි, මේ සතර වෘක්‍ෂයෝය.
මහණෙනි, එසේම වෘක්‍සයට බඳු උපමා ඇති පුද්ගලයන් සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
එලය පිරිවර කොට ඇති එලය, හරය පිරිවර කොට ඇති එලය, එලය පිරිවර කොට ඇති හරය, හරය පිරිවර කොට ඇති හරය, යන සතර දෙනයි.
මහණෙනි, පුද්ගල තෙමේ කෙසේ එලය පිරිවර කොට ඇති එලය වේද? “මහණෙනි, මේ ලෝකයහි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වේද, ලාමක ස්වභාව ඇත්තේ වේද, ඔහුගේ පිරිසද දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම එලය පිරිවර කොට ඇති එලය වේ, මහණෙනි, එලය පිරිවර කොට ඇති එලය යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි.
“මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම හරය පිරිවර කොට ඇති එලය වේද, මහණෙනි, මේ ලෝකයහි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තේද, ඔහුගේ පිරිස තොමෝ සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම හරය පිරිවර කොට ඇති එලය වේද, මහණෙනි, හරය පිරිවර කොට ඇති එලය ඇති වෘක්‍ෂය යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි.
“මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම එලය පිරිවර කොට ඇති හරය වේද? මහණෙනි, මේ ලෝකයහි ඇතැම් පුද්ගලයෙක් සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, ඔහුගේ පිරිස දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙසේ පුද්ගල තෙම එලය පිරිවර කොට ඇති හරය වේ, මහණෙනි, ඒ වෘක්‍ෂයක් එලය පිරිවර කොට ඇති හරය වේද, මහණෙනි, මේ පුද්ගලයා එබඳුයයි කියමි.
“මහණෙනි, හරය පිරිවර කොට ඇති හරය සමාන පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, ඔහුගේ පිරිස සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙසේ පුද්ගල තෙම හරය පිරිවර කොට ඇති හරය වේ. මහණෙනි, හරය පිරිවර කොට ඇති හරය ඇති වෘක්‍ෂය යම් සේද, මහණෙනි, මේ පුද්ගලයා එබඳුයයි කියමි.
මහණෙනි, මේ සතර වෘක්‍ෂයන්ට උපමා ඇති පුද්ගලයෝ ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.”
4. 3. 1. 10.
10. ආසිවිසොපම සූත්‍රය
10. “මහණෙනි, මේ ආශිර්විෂයෝ (සර්‍පයෝ) සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්,
පැමිණි විෂ ඇති, ඝොර විෂ නැති සර්පයාය, ඝොර විෂ ඇති, පැමිණි විෂ නැති සර්පයාය. පැමිණි විෂද ඇති, දරුණු විෂද ඇති සර්පයාය, පැමිණි විෂද නැති, දරුණු විෂද නැති සර්පයාය. මහණෙනි, මේ සතර සර්පයෝය.
මහණෙනි, එසේම සර්පයන්ට උපමා ඇති පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්,
“වැදුන විෂ ඇති, දරුණු විෂ නැති පුද්ගලයාය, දරුණු විෂ ඇති, වැදුන නැති පුද්ගලයාය, වැදුන විෂද, දරුණු විෂද ඇති පුද්ගලයාය, වැදුන විසත්, දරුණු විසත් නැති පුද්ගලයාය යන සතර දෙනය.
මහණෙනි, පැමිණි විෂ ඇති, දරුණු විෂ නැති පුද්ගලයා කවරේද? “මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වහා කිපෙයිද, ඒ ක්‍රෝධය බොහෝ වේලාවක් නොපවතීද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම පැමිණි විෂ ඇති, ඝෝර විෂ නැති පුද්ගලයාය. මහණෙනි, පැමිණි විෂ ඇති, දරුණු විෂ නැති සර්‍පයා යම් සේද, මහණෙනි, මේ පුද්ගලයා එබඳුයයි කියමි.
“මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම දරුණු විෂ ඇත්තේ වේද? පැමිණි විෂ නැත්තේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වහා නොකිපෙයි. ඔහුගේ ඒ ක්‍රෝධය බොහෝ කලක් පවතී. මහණෙනි, මෙබඳු පුදගල තෙම දරුණු විෂ ඇත්තේ වේ. පැමිණි විෂ නැත්තේ වේ. මහණෙනි, දරුණු විෂ ඇති, වැද්‍රනු විෂ නැති සර්‍පයා යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි.
“මහණෙනි, පැමිණි විෂද ඇති, දරුණු විෂද ඇති පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වහා කිපේද, ඔහුගේ ඒ ක්‍රෝධය බොහෝ කලක් පවතීද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම පැමිණි විෂ ඇත්තේද, දරුණු විෂ ඇත්තේද වේ. මහණෙනි, පැමිණි විෂද, දරුණු විෂද ඇති සර්‍පයා යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි.
“මහණෙනි, පුද්ගල තෙම කෙසේ පැමිණි විෂ නැත්තේ වේද, දරුණු විෂ නැත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වහා නොකිපෙයි. ඔහුගේ ඒ ක්‍රෝධය බොහෝ වේලාවක් නොපවතී. මහණෙනි, මෙසේ පුද්ගල තෙම පැමිණි විෂ නැත්තේද, දරුණු විෂ නැත්තේද වේ. මහණෙනි, පැමිණි විෂ නැති, දරුණු විෂ නැති, සර්පයෙකු යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි.
මහණෙනි, මේ ආශිර්විෂයන්ට බඳු උපමා ඇති පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.”
එකොලොස්වෙනි වළාහක වර්‍ගය නිමි
එහි උද්දානය:
වලාහක සූත්‍ර දෙක ද, කුම්භ සූත්‍රය ද, උදකරහද සූත්‍ර දෙක ද, අම්බ, මූසික, බලිවද්ද, රුක්ඛ, ආසිවිස සූත්‍රයෙන් දස වැන්න යයි (මේ වර්ගයෙහි) සූත්‍ර දසයෙකි.