4. 2. 4. 8.
8. දුතිය සමණ මචල සූත්‍රය
38. “මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
“ශ්‍රමණ මචල පුද්ගලයාය, ශ්‍රමණ පුණ්ඩරීක පුද්ගලයාය, ශ්‍රමණ පද්ම පුද්ගලයාය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සුකුමාල පුද්ගලයාය යන සතර දෙනයි.”
“මහණෙනි, ශ්‍රමණ මචල පුද්ගලයා කවරේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සංයෝජන තුන් දෙනෙකුගේ ක්‍ෂවීමෙන් නිරයට නොයන ස්වභාව ඇති, සුගති නියතවූ, රහත් බව පරම ප්‍රතිෂ්ඨාකොට ඇති සෝවාන් වූවෙක් වේද, මහණෙනි, මේ පුද්ගල තෙම ශ්‍රමණ මචල වේ.
“මහණෙනි, කෙසේ පුද්ගල තෙම ශ්‍රමණ පුණ්ඩරීක වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සංයෝජන තුනක් ක්‍ෂය කිරීමෙන් රාග, ද්වේෂ, මෝහයෙන් තුනීවූ බැවින් සකෘදාගාමී වේද, වරක් මෙලොවට පැමිණ දුක් කෙළවර කරයිද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම ශ්‍රමණ පුණ්ඩරීක වේ.
“මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම ශ්‍රමණ පදුම වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කාමධාතුව භජනය කරණ සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් ඔපපාතික වේද, එහි පිරිනිවියේ ලෝකයෙන් නැවත එන ස්වභාව නැත්තේ වේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම ශ්‍රමණ පදුම වේ.
මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සුඛුමාල වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ආශ්‍රවයන් ක්ෂය වීමෙන් ආශ්‍රව රහිත වූ චිත්ත විමුක්තිය ද ප්‍රඥා විමුක්තිය ද මෙලොවදීම තෙමේම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සුඛුමාල වේ.
“මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.”
4. 2. 4. 9.
9. තතිය සමණ මචල සූත්‍රය
39. “මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
“ශ්‍රමණ මචල පුද්ගලයාය, ශ්‍රමණ පුණ්ඩරීක පුද්ගලයාය, ශ්‍රමණ පදුම පුද්ගලයාය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සුකුමාල පුද්ගලයාය යන සතර දෙනයි.”
“මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම ශ්‍රමණ මචල වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සම්‍යක් දෘෂ්ටික වේද, සම්‍යක් සංකල්ප ඇත්තේ වේද, සම්‍යක් වචන කියන්නේ වේද, සම්‍යක් කර්‍මාන්ත ඇත්තේ වේද, යහපත් ජීවිකාවෙන් යුත්.ද, යහපත් වෑයමෙන් යුක්තද, සම්‍යක් සතියෙන් යුක්තද, සම්‍යක් සමාධියෙන් යුක්තද, මහණෙනි, මෙසේ පුද්ගල තෙම ශ්‍රමණ මචල වේ.
“මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම ශ්‍රමණ පුණ්ඩරීක වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සම්‍යක් දෘෂ්ටික වේද, සම්‍යක් සංකල්ප ඇත්තේ වේද, සම්‍යක් වචන කියන්නේ වේද, සම්‍යක් කර්‍මාන්ත ඇත්තේ වේද, යහපත් ජීවිකාවෙන් යුත්.ද, යහපත් වෑයමෙන් යුක්තද, සම්‍යක් සතියෙන් යුක්තද, සම්‍යක් සමාධියෙන් යුක්තද, අර්‍හත් ඵල ඤාණයෙන් යුක්තද, අර්‍හත්ඵල විමුක්තියෙන් යුක්තද, අෂ්ට විමොක්‍ෂයෙන් කයින් ස්පර්‍ශකොට වාසය නොකරයිද, මහණෙනි, මෙසේ පුද්ගල තෙම ශ්‍රමණ පුණ්ඩරීක වේ.
“මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම ශ්‍රමණ පදුම වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සම්‍යක් දෘෂ්ටික වේද, සම්‍යක් සංකල්ප ඇත්තේ වේද, සම්‍යක් වචන කියන්නේ වේද, සම්‍යක් කර්‍මාන්ත ඇත්තේ වේද, යහපත් ජීවිකාවෙන් යුත්.ද, යහපත් වෑයමෙන් යුක්තද, සම්‍යක් සතියෙන් යුක්තද, සම්‍යක් සමාධියෙන් යුක්තද, අර්‍හත්ඵල විමුක්තියෙන් යුක්තවූයේද, අෂ්ට විමොක්‍ෂයන් කයින් ස්පර්‍ශකොට වාසය කෙරේද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම ශ්‍රමණ පදුම වේ.
මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සුඛුමාල වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සෙයින් ආයාචනා කරන ලද්දේම සිවුරු පරිභෝග කරයි, ආයාචනා නොකරන ලද්දේ ස්වල්පයක් පරිභෝග කරයි -පෙ- මහණෙනි, මනාකොට කියන්නෙක් යමෙකු ගැන ‘ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සුඛුමාල’ යයි කියන්නේ නම්, මහණෙනි, මනාකොට කියන්නෙක් ‘ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සුඛුමාල’ යයි කියන්නේ මා ගැනම ය.
“මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ.