4. 2. 3. 7.
7. අචින්තෙය්‍ය සූත්‍රය
[සැවැත් නුවර නිදානයයි]
27. “මහණෙනි, යම් දෙයක් සිතන්නේ උන්මාදයට දුකට පත්වන්නේද, නොසිතිය හැකි, නොසිතිය යුතු මේ සතරක් වෙත්. කවර සතරක්ද යත්.
“යමක් සිතන්නේ උන්මාදයට, දුකට පත්වන්නේද, මහණෙනි, බුදුවරුන්ගේ බුද්‍ධ විෂය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වන්නේද,
“ධ්‍යාන ඇත්තහුගේ ධ්‍යාන විෂය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වේද,
“කර්‍ම විපාකය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වේද,
“ලෝකය ගැන සිතීම නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වේද,
“මහණෙනි, මේ සතර නොසිතිය යුතුය. යමක් සිතන්නේ උන්මාදයට, දුකට පත්වේද, නොසිතිය යුතු, නොසිතිය යැකි මේ කරුණු සතරය.”
4. 2. 3. 8.
8. දක්ඛිණ විභඞ්ග සූත්‍රය
28. “මහණෙනි, දක්‍ෂිණාව (දානය) පිරිසිදුවන කරුණු සතරක් වෙත්. කවර සතරක්ද යත්?
“මහණෙනි, දායකයා නිසා පිරිසිදුවන, ලබන්නා නිසා පිරිසිදු නොවන දානයක් ඇත. මහණෙනි, දන් ලබන්නා නිසා පිරිසිදු වන, දායකයා නිසා පිරිසිදු නොවන දානයක් ඇත. මහණෙනි, දායකයා නිසාද, දානය ලබන්නා නිසාද පිරිසිදු නොවන දානයක් ඇත. මහණෙනි, දායකයා නිසාද, දානය ලබන්නා නිසාද පිරිසිදුවන දානයක් ඇත.
“මහණෙනි, කෙසේ නම් දානය, දායකයාගෙන් පිරිසිදු වේද, දානය ලබන්නාගෙන් පිරිසිදු නොවේද? මහණෙනි, මේ ලෝකයෙහි දායක තෙම සිල්වත් වේද, යහපත් ස්වභාව ඇත්තේ වේද, ප්‍රතිග්‍රාහකයන් (දානය ලබන්නන්) දුශ්ශිලද, ලාමක හැසිරීම් ඇත්තේද, මහණෙනි, මෙසේ වනාහි දක්‍ෂිණාව (දානය) දායකයා නිසා පිරිසිදුවේ. ප්‍රතිග්‍රාහකයා නිසා පිරිසිදු නොවේ.
“මහණෙනි, කෙසේ නම් දානය, දානය ලබන්නාගෙන් පිරිසිදු වේද, දායකයාගෙන් පිරිසිදු නොවේද? මහණෙනි, මේ දායකයෙක් දුශ්ශිලද, ලාමක ස්වභාව ඇත්තේද, දානය ලබන්නන් සීලවන්තද, යහපත් ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙසේ දක්‍ෂිණාව දායකයාගෙන් නොව දානය ලබන්නාගෙන් ශුද්‍ධ වේ.
“මහණෙනි, කෙසේ නම් දක්‍ෂිණාව (දානය) දායකයාගෙනුත්, දානය ලබන්නාගෙනුත් ශුද්‍ධ නොවේද, මහණෙනි, මෙහි දායකයෙක් දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තේද, දානය ලබන්නන්ද දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තාහුද, මහණෙනි, දක්‍ෂිණාව මෙසේ දායකයාගෙනුත්, දානය ලබන්නාගෙනුත් ශුද්‍ධ නොවේ.
“මහණෙනි, කෙසේ නම් දක්‍ෂිණාව (දානය) දානය ලබන්නන්ගෙන්ද, දායකයාගෙන්ද ශුද්‍ධ වේද? මහණෙනි, මෙහි දායකයෙක් සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, දානය ලබන්නන්ද සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙසේ වනාහි දක්‍ෂිණාව (දානය) දායකයා කෙරෙන්ද, දානය ලබන්නා කෙරෙන්ද ශුද්‍ධ වේ.
“මහණෙනි, මේ දක්‍ෂිණා (දාන) විසුද්‍ධි සතරය.”
4. 2. 3. 9.
9. පයුත්තවණිජ්ජා සූත්‍රය
29. “ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරුන් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණි සේක. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. එකත් පසෙක සිටි ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට එතදවොච :
“ස්වාමීනි, යම් කරුණකින් මෙහි ඇතැම් කෙනෙකු යම්බඳු වෙළඳාමක් යෙදුවාහු සිඳෙන ස්වභාව වේද ඊට හේතු කවරේද, ප්‍රත්‍යය කවරේද? යම් හෙයකින් මෙහි ඇතැම් කෙනෙක් යම්බඳු වෙළඳාමක් යෙදුවාහු අදහස් කළ පරිදි නොවේද, ඊට හේතු කවරේද, ප්‍රත්‍යය කවරේද?