4. 2. 3. 8.
8. දක්ඛිණ විභඞ්ග සූත්රය
28. “මහණෙනි, දක්ෂිණාව (දානය) පිරිසිදුවන කරුණු සතරක් වෙත්. කවර සතරක්ද යත්?
“මහණෙනි, දායකයා නිසා පිරිසිදුවන, ලබන්නා නිසා පිරිසිදු නොවන දානයක් ඇත. මහණෙනි, දන් ලබන්නා නිසා පිරිසිදු වන, දායකයා නිසා පිරිසිදු නොවන දානයක් ඇත. මහණෙනි, දායකයා නිසාද, දානය ලබන්නා නිසාද පිරිසිදු නොවන දානයක් ඇත. මහණෙනි, දායකයා නිසාද, දානය ලබන්නා නිසාද පිරිසිදුවන දානයක් ඇත.
“මහණෙනි, කෙසේ නම් දානය, දායකයාගෙන් පිරිසිදු වේද, දානය ලබන්නාගෙන් පිරිසිදු නොවේද? මහණෙනි, මේ ලෝකයෙහි දායක තෙම සිල්වත් වේද, යහපත් ස්වභාව ඇත්තේ වේද, ප්රතිග්රාහකයන් (දානය ලබන්නන්) දුශ්ශිලද, ලාමක හැසිරීම් ඇත්තේද, මහණෙනි, මෙසේ වනාහි දක්ෂිණාව (දානය) දායකයා නිසා පිරිසිදුවේ. ප්රතිග්රාහකයා නිසා පිරිසිදු නොවේ.
“මහණෙනි, කෙසේ නම් දානය, දානය ලබන්නාගෙන් පිරිසිදු වේද, දායකයාගෙන් පිරිසිදු නොවේද? මහණෙනි, මේ දායකයෙක් දුශ්ශිලද, ලාමක ස්වභාව ඇත්තේද, දානය ලබන්නන් සීලවන්තද, යහපත් ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙසේ දක්ෂිණාව දායකයාගෙන් නොව දානය ලබන්නාගෙන් ශුද්ධ වේ.
“මහණෙනි, කෙසේ නම් දක්ෂිණාව (දානය) දායකයාගෙනුත්, දානය ලබන්නාගෙනුත් ශුද්ධ නොවේද, මහණෙනි, මෙහි දායකයෙක් දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තේද, දානය ලබන්නන්ද දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තාහුද, මහණෙනි, දක්ෂිණාව මෙසේ දායකයාගෙනුත්, දානය ලබන්නාගෙනුත් ශුද්ධ නොවේ.
“මහණෙනි, කෙසේ නම් දක්ෂිණාව (දානය) දානය ලබන්නන්ගෙන්ද, දායකයාගෙන්ද ශුද්ධ වේද? මහණෙනි, මෙහි දායකයෙක් සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, දානය ලබන්නන්ද සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙසේ වනාහි දක්ෂිණාව (දානය) දායකයා කෙරෙන්ද, දානය ලබන්නා කෙරෙන්ද ශුද්ධ වේ.
“මහණෙනි, මේ දක්ෂිණා (දාන) විසුද්ධි සතරය.”
4. 2. 3. 9.
9. පයුත්තවණිජ්ජා සූත්රය
29. “ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරුන් භාග්යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණි සේක. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. එකත් පසෙක සිටි ආයුෂ්මත් ශාරිපුත්රයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට එතදවොච :
“ස්වාමීනි, යම් කරුණකින් මෙහි ඇතැම් කෙනෙකු යම්බඳු වෙළඳාමක් යෙදුවාහු සිඳෙන ස්වභාව වේද ඊට හේතු කවරේද, ප්රත්යය කවරේද? යම් හෙයකින් මෙහි ඇතැම් කෙනෙක් යම්බඳු වෙළඳාමක් යෙදුවාහු අදහස් කළ පරිදි නොවේද, ඊට හේතු කවරේද, ප්රත්යය කවරේද?
“යම් කරුණකින් මෙහි ඇතැම් කෙනෙක් යම්බඳු වෙළඳාමක් යෙදුවාහු අදහස් කළ පරිදි වේද, ඊට හේතු කවරේද, ප්රත්යය කවරේද? යම් කරුණකින් මෙහි ඇතැම් කෙනෙක් යම්බඳු වෙළඳාමක් යෙදුවාහු අදහස් කළ ක්රමයටත් වැඩිවේද ?
“ශාරිපුත්රය, මේ ලෝකයෙහි ඇතැමෙක් ශ්රමණයකු හෝ බ්රාහ්මණයෙකු හෝ කරා පැමිණ, “ස්වාමීණි, ප්රත්යයෙන් යමක් කියන්නැයි ආරාධනා කරයි. හෙතෙම යමකින් පැවරුයේ නම් එය නොදෙයි. ඉදින් හෙතෙම ඉන් චුතවූයේ මේ ආත්මයට පැමිණියේ නම් හෙතෙම යම් යම් වෙළඳාමක් යෙදුයේද එය ඔහුට සිඳෙන ස්වභාව වේ.
“ශාරිපුත්රය, මේ ලෝකයෙහි ඇතැමෙක් ශ්රමණයකු හෝ බ්රාහ්මණයෙකු හෝ කරා පැමිණ, “ස්වාමීණි, ප්රත්යයෙන් යමක් කියන්නැයි ආරාධනා කරයි. හෙතෙම යමකින් පැවරුයේද එය අදහස් කළ පරිදි නොදේ. හෙතෙම ඉදින් ඉන් චුතවූයේ මේ මනුෂ්ය ආත්මයට පැමිණියේද හෙතෙම යම් වෙළඳාමක් එය ඔහු අදහස් කළ පරිදි නොවේ.
“ශාරිපුත්රය, මේ ලෝකයෙහි ඇතැමෙක් ශ්රමණයකු හෝ බ්රාහ්මණයෙකු හෝ කරා පැමිණ, “ස්වාමීණි, ප්රත්යයෙන් යමක් කියන්නැයි ආරාධනා කරයි. එය අදහස් කළ පරිදි දෙයි. හෙතෙම ඉදින් ඉන් චුතවූයේ මේ ආත්මයට පැමිණේද හෙතෙම යම් වෙළඳමෙක් යොදයිද එය ඔහු අදහස් කළ පරිදි සිදුවේ.
“ශාරිපුත්රය, මේ ලෝකයෙහි ඇතැමෙක් ශ්රමණයකු හෝ බ්රාහ්මණයෙකු හෝ කරා පැමිණ, “ස්වාමීණි, ප්රත්යයෙන් යමක් කියන්නැයි ආරාධනා කරයි. හෙතෙම යමකින් පවරණ ලද්දේද එය අදහස් කළාටත් වැඩියෙන් දෙයි. හෙතෙම ඉදින් ඉන් චුතව මේ ආත්මයට පැමිණියේද හෙතෙම යම් යම් වෙළඳාමක් යොදයිද එය ඔහු අදහස් කළාටත් වඩා සැපයේ.
“ශාරිපුත්රය, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙකුට යම්බඳු වෙළඳාමක් යෙදුවාහුද සිඳෙන ස්වභාව වේද, ශාරිපුත්රය, මේ ඊට හේතුය, මේ ඊට ප්රත්යය.
“ශාරිපුත්රය, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් යම්බඳු වෙළඳාමක් යෙදුවාහුද අදහස් කළ පරිදි නොවේද, ශාරිපුත්රය, මේ ඊට හේතුය, ප්රත්යයය.
“ශාරිපුත්රය, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් යම්බඳු වෙළඳාමක් යෙදුවාහුද අදහස් කළ පරිදි වේද මේ ඊට හේතුය, ප්රත්යය.
“ශාරිපුත්රය, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් යම්බඳු වෙළඳාමක් යෙදුවාහුද එය අදහස් කළාටත් වැඩියෙන් වේද මේ ඊට හේතුය ඊට ප්රත්යයයයි” වදාළසේක.