4. 2. 2. 8.
[දෙවදත්තසුත්තං] - අත්තවධ (දෙව දත්ත) සූත්‍රය
18. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ, රජගහ නුවර ගිජුකුළු පව්වෙහි.දෙව්දත් තෙරුන් වහන්සේ ගිය නොබෝ කල්හි වාසය කරණ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් තෙරුන් වහන්සේ අරභයා භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක.
මහණෙනි, දෙව්දත්හට ලාභ, සත්කාර, ප්‍රශංසා තමාගේ විනාශය පිණිස පහළවිය. මහණෙනි, දෙව්දත්හට ලාභ, සත්කාර, ප්‍රශංසා පිරිහීමට පහළවිය.
මහණෙනි, යම්සේ කෙසෙල් ගස තම විනාශය පිණිස පූදියිද, පිරිහීමට පූදියිද, මහණෙනි, එසේම දෙව්දත්හට ලාභ, සත්කාර, ප්‍රශංසා තම විනාශය පිණිස විය. දෙව්දත්හට ලාභ, සත්කාර, ප්‍රශංසා පිරිහීමට පහළවිය.
මහණෙනි, යම්සේ හුණගස තම විනාශය පිණිස පූදියිද, පිරිහීමට පූදියිද, මහණෙනි, එසේම දෙව්දත්හට තම විනාශය පිණිස ලාභ, සත්කාර, ප්‍රශංසා පහළ විය. පිරිහීමට ලාභ, සත්කාර, ප්‍රශංසා පහළවිය.
මහණෙනි, යම්සේ බට ගස තමාගේ විනාශය පිණිස පූදියිද, පිරිහීම පිණිස පූදියිද, එසේම දෙව්දත්හට තම විනාශය පිණිස ලාභ, සත්කාර, ප්‍රශංසා පහළ විය. පිරිහීමට ලාභ, සත්කාර, ප්‍රශංසා පහළවිය.
මහණෙනි, යම්සේ වෙළඹ තම විනාශය පිණිස ගැබ් ගනියිද, පිරිහීම පිණිස ගැබ් ගනියිද, මහණෙනි, එසේම දේවදත්තහට තම විනාශය පිණිස ලාභ, සත්කාර, ප්‍රශංසා පහළ විය.
52. ඒකාන්තයෙන් යම්සේ ඵලය කෙසෙල් ගස නසයි. හුණගස ඵලය නිසා නැසෙයි. බට ගස ඵලය නිසා නැසෙයි. ගර්භය වෙළඹ නසයි. සත්කාරය නින්දිත පුරුෂයන් නසයි.
4. 2. 2. 9.
[පධානසුත්තං] - පධාන චතුක්ක සූත්‍රය
19. මහණෙනි, මේ ප්‍රධාන වීර්‍ය්‍ය සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
සංවරය පිණිස පවත්නා ප්‍රධාන වීර්‍ය්‍ය, කෙලෙස් ප්‍රහාණය පිණිස පවත්නා (ප්‍රධාන) වීර්‍ය්‍ය, කුශල ධර්‍මයන් වැඩීම පිණිස පවත්නා (ප්‍රධාන) වීර්‍ය්‍යය, කුශල ධර්‍මයන් ආරක්‍ෂා කිරීම පිණිස පවත්නා (ප්‍රධාන) වීර්‍ය්‍ය, යන සතරයි.
මහණෙනි, සංවර ප්‍රධානය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නූපන් ලාමක අකුශල ධර්‍මයන් නොඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍යය පටන් ගනීද, සිත පිහිටුවයිද, ප්‍රධන් වීර්‍ය්‍ය කරයිද, මහණෙනි, මේ සංවර ප්‍රධානයයි කියනු ලැබේ.
මහණෙනි, ප්‍රහාණ ප්‍රධානය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම උපන් ලාමක අකුශල ධර්‍මයන් පහකිරීම පිණිස කැමැත්ත ඇති කරයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍යය කරයිද, සිත යොදවයිද, ප්‍රධන් වීර්‍ය්‍ය කරයිද, මේ ප්‍රහාණ ප්‍රධානයයි කියනු ලැබේ.
මහණෙනි, භාවනා ප්‍රධානය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නූපන් කුශල ධර්‍මයන් ඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍යය පටන් ගනීද, සිත යොදවයිද, ප්‍රධන් වීර්‍ය්‍ය කරයිද, මේ භාවනා ප්‍රධානයයි කියනු ලැබේ.