4. 2. 2. 9.
[පධානසුත්තං] - පධාන චතුක්ක සූත්රය
19. මහණෙනි, මේ ප්රධාන වීර්ය්ය සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
සංවරය පිණිස පවත්නා ප්රධාන වීර්ය්ය, කෙලෙස් ප්රහාණය පිණිස පවත්නා (ප්රධාන) වීර්ය්ය, කුශල ධර්මයන් වැඩීම පිණිස පවත්නා (ප්රධාන) වීර්ය්යය, කුශල ධර්මයන් ආරක්ෂා කිරීම පිණිස පවත්නා (ප්රධාන) වීර්ය්ය, යන සතරයි.
මහණෙනි, සංවර ප්රධානය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නූපන් ලාමක අකුශල ධර්මයන් නොඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්ය්යය පටන් ගනීද, සිත පිහිටුවයිද, ප්රධන් වීර්ය්ය කරයිද, මහණෙනි, මේ සංවර ප්රධානයයි කියනු ලැබේ.
මහණෙනි, ප්රහාණ ප්රධානය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම උපන් ලාමක අකුශල ධර්මයන් පහකිරීම පිණිස කැමැත්ත ඇති කරයිද, වෑයම් කරයිද, වීර්ය්යය කරයිද, සිත යොදවයිද, ප්රධන් වීර්ය්ය කරයිද, මේ ප්රහාණ ප්රධානයයි කියනු ලැබේ.
මහණෙනි, භාවනා ප්රධානය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නූපන් කුශල ධර්මයන් ඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්ය්යය පටන් ගනීද, සිත යොදවයිද, ප්රධන් වීර්ය්ය කරයිද, මේ භාවනා ප්රධානයයි කියනු ලැබේ.
මහණෙනි, අනුරක්ෂණ ප්රධානය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම උපන් කුශල ධර්මයන්ගේ පැවැත්ම පිණිස, මුළාවීම නොවීම පිණිස, වැඩිවීම පිණිස, විපුලත්වයට යාම පිණිස, සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්ය්යය පටන් ගනීද, සිත යොදවයිද, ප්රධන් වීර්ය්ය කරයිද, මහණෙනි, මේ අනුරක්ෂණ ප්රධානයයි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ප්රධානයෝයි.
53. සංවරයද, ප්රහාණයද, භාවනාවද, අනුරක්ෂණයදැයි ප්රධාන සතර, සූර්ය්ය වංශයෙහිවූ බුදුරජානන් වහන්සේ විසින් වදාරණ ලදහ. යම් හෙයකින් මෙහි භික්ෂු තෙමේ මේවායෙහි වීර්ය්යය ඇත්තේ වේද, දුක්ඛයන්ගේ ක්ෂය බවට පැමිණෙයි.
4. 2. 2. 10.
[අධම්මිකසුත්තං] - අධම්මිකරාජ සූත්රය
20. මහණෙනි, යම් කාලයෙක්හි රජවරු අධාර්මික වෙත්ද, ඒ කාලයෙහි රාජකාර්ය්යයෙහි නියුක්ත පුරුෂයෝද අධාර්මික වෙත්. මහණෙනි, ඒ රාජකාර්ය්යයන්හි නියුක්ත පුරුෂයන් අධාර්මිකවූ කල්හි, බමුණු ගැහැවියෝද අධාර්මික වෙත්. බමුණු ගැහැවියන් අධාර්මිකවූ කල්හි, නියම්ගම් දනව් වාසීහුද, අධාර්මික වෙත්. නියම්ගම් දනව් වැසියන්, අධාර්මික වූ කල්හි චන්ද්ර සූර්ය්යයෝ විෂමව ගමන් කරත්. චන්ද්ර සූර්ය්යයන් විෂමව ගමන් කරන කල්හි නැකැත් හා තරු විෂමව යත්. නැකැත් හා තරු විෂමව යන කල්හි රෑ දාවල් විෂම වෙත්. රෑ දාවල් විෂම වන කල්හි, මාස අර්ධ මාසයෝ විෂම වෙත්. මාස අර්ධ මාස විෂමවූ කල්හි, ඎතු සංවත්සර විෂම වෙත්. ඎතු සංවත්සර විෂම වූ කල්හි වාතයෝ විෂමව හමත්. මාර්ගයේ නොහමත්. විෂම මාර්ගයන්හි, විෂම වාතයන් හමන කල්හි දෙවියෝ කිපෙත්. දෙවියන් කුපිතවූ කල්හි වළාකුළු මනාව ධාරා නොහෙළත්. වළාකුළු මනාව ධාරා නොහෙළන කළ විෂමව පැසෙන ශස්යයෝ වෙත්. මහණෙනි, විෂමව පැසෙන ශස්ය අනුභව කරණ මනුෂ්යයෝ අලුපායුෂ්ක වූවාහු, දුවර්ණ වූවාහු, දුර්වල වූවාහු, බොහෝ ලෙඩ ඇත්තාහු වෙත්.
මහණෙනි, යම් කාලයක රජවරු ධාර්මික වෙත්ද, ඒ කාලයෙහි රාජකාර්ය්යයෙහි නියුක්තයෝද ධාර්මික වෙත්. රාජකාර්ය්යයන්හි නියුක්තයන් ධාර්මික කල්හි බමුණු ගැහැවියන්ද ධාර්මික වෙත්. බමුණු ගැහැවියන් ධාර්මික කල්හි නියම්ගම් දනව් වැස්සෝ ඒ කාලයෙහි ධාර්මික වෙත්. නියම්ගම් දනව් වැසියන් ධාර්මික කල්හි චන්ද්ර සූර්ය්යයෝ සමව ගමන් කරත්. චන්ද්ර සූර්ය්යයන් සමව ගමන් කරණ කල, නැකැත් තාරකා සමව ගමන් කෙරත්. නැකැත් තාරකා සමව ගමන් කරණ කල. රෑ දාවල් සමව සිටිත්. රෑ දාවල් සමව සිටි කල්හි, මාස අර්ධ මාසයෝ සමව යෙත්. මාස අර්ධ මාස සමවූ කල්හි, ඎතු සංවත්සර සම වෙත්. ඎතු සංවත්සර සමවූ කල්හි, සමව නියම මාර්ගයෙහි වාතය හමයි. සමව නියම මාර්ගයෙහි වාතය හමණ කල, දෙවියෝ ප්රීති වෙත්. දෙවියෝ නොකිපි කල්හි වළාකුළු මනාකොට ධාරා හෙලයි. වළාකුළු මනාකොට ධාරා හෙලන කල, ශස්යයෝ සමව පැසෙත්. මහණෙනි, සමානව පැසුණු ශස්ය අනුභව කරණ මනුෂ්යයෝ දීර්ඝායුෂ ඇත්තාහුද, වර්ණවත්ද, ශක්තිමත් වූවාහුද, නීරෝග වූවාහුද වෙත්.