4. 2. 2. 2.
2. අනණසුඛ සූත්‍රය
62. “ඉක්බිති අනේපිඬු ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් අනාථ පිණ්ඩික ගෘහපතිහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“ගෘහපතිය, කාමභෝගී ගිහියා විසින් කලින් කල, අවස්ථාවෙන් අවස්ථාව ලැබියයුතු මේ සැප සතරක් වෙත්. කවර සතරක්ද යත්,
අර්ත්‍ථ සුඛය, (ඇති සැපය), භොග සුඛය, (පරිභොග සැපය), අණන සුඛය, (ණය නැති සැපය), අනවජ්ජ සුඛය, (නිවරද සැපය) යන සතරයි.
“ගෘහපතිය, අර්ත්‍ථ සුඛය කවරේද? ගෘහපතිය, මෙහි කුල පුත්‍රයෙකුට උත්‍ථාන වීර්‍ය්‍යයෙන් සරිකර ගත් බාහු බලයෙන් රැස්කළ ඩහදිය වැගිරවීමෙන් දැහැමින් ලත් ධාර්මිකවූ වස්තුව ඇත්තේද, හෙතෙම උත්‍ථාන වීර්‍ය්‍යයෙන්, බාහු බලයෙන්, ඩහදිය වගුරුවීමෙන්, දැහැමින් ලත් ධාර්මික වස්තුව ඇතැයි සැපක් ලබයි. සොම්නසක් ලබයි. ගෘහපතිය, මේ අර්ත්‍ථ සුඛයයි.
“ගෘහපතිය, භොග සුඛය කවරේද? ගෘහපතිය, මෙහි කුලපුත්‍ර තෙම උත්‍ථාන වීර්‍ය්‍යයෙන්, බාහු බලයෙන්, ඩහදිය වගුරුවීමෙන්, ධර්මික කර්‍මයන්ගෙන්, දැහැමින් ලත් වස්තුව පරිභොග කරයි. පින්ද කරයි. හෙතෙම උත්‍ථාන වීර්‍ය්‍යයෙන් බාහු බලයෙන්, ඩහදිය වගුරුවීමෙන්, ධාර්මික විධියෙන් දැහැමින් ලත් වස්තුව පරිභොග කරමි, පින්ද කරමියි සැපක් ලබයි. ගෘහපතිය, මේ භොග සුඛයයි කියනු ලැබේ.”
“ගෘහපතිය, අණන සුඛය කවරේද, ගෘහපතිය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම ස්වල්පයක් හෝ බොහෝ හෝ කිසිවකුට කිසිවක් ණය නැත්තේද, හෙතෙම ස්වල්පයක් හෝ වැඩියක් හෝ කිසිවෙකුට කිසිවක් ණය නැතැයි සැපක් ලබයි. සොම්නසක් ලබයි. ගෘහපතිය, මේ අණන සුඛයයි.”
“ගෘහපතිය, අනවජ්ජ සුඛය කවරේද? ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නිවැරදි කාය කර්‍මයෙන් යුක්තවූයේ වේද, නිවැරදි වාක් කර්‍මයෙන් යුක්තවූයේ වේද, නිවැරදි මනො කර්‍මයෙන් යුක්තවූයේ වේද, හෙතෙම නිවැරදි කාය කර්‍මයෙන් යුක්තවූයේ වෙයි. නිවැරදි වාක් කර්‍මයෙන් යුක්තවූයේ වෙයි. නිවැරදි මනො කර්‍මයෙක් යුක්තවූයේ වෙමියි. සැපක් ලබයි. සොම්නසක් ලබයි. ගෘහපතිය, මේ අනවජ්ජ සුඛයයි කියනු ලැබේ.
ගෘහපතිය, මේ සතර සැපය කාමභෝගී ගිහියා විසින් කලින් කල, අවස්ථාවෙන් අවස්ථාව ලැබිය යුත්තාහ.”
“අනවජ්ජ සුඛය දැන නැවත අර්ත්‍ථ සුඛය සිහි කරන්නේය. භොගය සුවසේ අනුභව කරණ මනුෂ්‍ය තෙම නැවත ප්‍රඥාවෙන් මනාසේ බලයි.
නුවණින් බලන්නාවූ ඥානවන්ත පුද්ගල තෙමේ, පළමු සැප තුන අනවජ්ජ සුඛයාගේ සොලොස් කලාවෙන් කලාවටවත් නොඅගීයයි දැනගනියි.”
4. 2. 2. 3.
3. සබ්‍රහ්මක (කුල) සූත්‍රය
63. “මහණෙනි, යම් පුත්‍ර කෙනෙකුන් විසින් මව් පියවරු සිය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත්ද, ඒ කුලයෝ බ්‍රාහ්මයා සහිත කුල වෙති. මහණෙනි, යම් පුත්‍ර කෙනෙකුන් විසින් මව් පියවරු සිය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත්ද, ඒ කුලයෝ පූර්‍වාචාර්‍ය්‍යයන් සහිත වෙත්. මහණෙනි, යම් පුත්‍ර කෙනෙකුන් විසින් මව් පියවරු සිය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත්ද, ඒ කුලයෝ පූර්‍වදේවතාවන් සහිතය. මහණෙනි, යම් පුත්‍ර කෙනෙකුන් විසින් මව් පියවරු සිය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත්ද, ඒ කුලයෝ දුර සිට ගෙනෙන ලද දෙය දීමට සුදුසු කුල වෙති.
“මහණෙනි, බ්‍රහ්ම යනු මවු පියන්ට නමකි. මහණෙනි, පූර්‍වාචාර්‍ය්‍ය යනු මවු පියන්ට නමකි. මහණෙනි, පූර්‍වදේවතා යනු මවු පියන්ට නමකි. මහණෙනි, ආහුනෙය්‍ය යනු මවු පියන්ට නමකි. ඊට හේතු කවරේද?
මහණෙනි, මව්පියෝ පුත්‍රයන්ට බොහෝ උපකාර ඇත්තාහ. හදා වඩන්නෝය. පෝෂ්‍යය කරන්නෝය. මේ ලොව පෙන්වන්නාහුය.”
“ප්‍රජාවට අනුකම්පා කරණ මව්පියෝ පුත්‍රයන්ට බ්‍රහ්මයෝ යයිද, පූර්‍වාචාර්‍ය්‍යයෝ යයිද, දුර සිට ගෙනවුත් පිදිය යුත්තෝ යයිද, කියනු ලැබෙත්. එසේ හෙයින් ඤාණවන්ත තෙමේ ඔවුන් වඳින්නේය.
ආහාරයෙන්ද, නැවත පානයෙන්ද, වස්ත්‍රයෙන්ද, සේනාසනයෙන්ද, ඇඟ ඉලීමෙන්ද, නැහැවීමෙන්ද, පා දෙවීමෙන්ද සත්කාර කරන්නේය..
මවුපියන් කෙරෙහි කරණ මේ උපකාරයන් මෙලොවම ඔහුට ප්‍රශංසා කරත්. පරලොව ස්වර්‍ගයෙහි සතුට වේය” යි වදාළ සේක.
4. 2. 2. 4.
[නිරයසුත්තං] - නිරයගාමී ධම්ම සූත්‍රය
14. මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ තැනැත්තේ ගෙන එන ලද්දාක් බිම හෙළුවාක් මෙන් නරකයෙහි උපදියි. කවර සතරකින්ද යත්.
සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද.
මහණෙනි, මේ කරුණු සතරින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බිම හෙළුවාක් මෙන් නරකයෙහි උපදියි.
40. සතුන් මැරීමද, නුදුන් දේ ගැනීමද, බොරු කීමද, පරදාරාවන් කරා යාමද, පණ්ඩිතයෝ ප්‍රශංසා නොකෙරෙත්යයි කියනු ලැබේ.