4. 2. 2. 3.
3. සබ්‍රහ්මක (කුල) සූත්‍රය
63. “මහණෙනි, යම් පුත්‍ර කෙනෙකුන් විසින් මව් පියවරු සිය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත්ද, ඒ කුලයෝ බ්‍රාහ්මයා සහිත කුල වෙති. මහණෙනි, යම් පුත්‍ර කෙනෙකුන් විසින් මව් පියවරු සිය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත්ද, ඒ කුලයෝ පූර්‍වාචාර්‍ය්‍යයන් සහිත වෙත්. මහණෙනි, යම් පුත්‍ර කෙනෙකුන් විසින් මව් පියවරු සිය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත්ද, ඒ කුලයෝ පූර්‍වදේවතාවන් සහිතය. මහණෙනි, යම් පුත්‍ර කෙනෙකුන් විසින් මව් පියවරු සිය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත්ද, ඒ කුලයෝ දුර සිට ගෙනෙන ලද දෙය දීමට සුදුසු කුල වෙති.
“මහණෙනි, බ්‍රහ්ම යනු මවු පියන්ට නමකි. මහණෙනි, පූර්‍වාචාර්‍ය්‍ය යනු මවු පියන්ට නමකි. මහණෙනි, පූර්‍වදේවතා යනු මවු පියන්ට නමකි. මහණෙනි, ආහුනෙය්‍ය යනු මවු පියන්ට නමකි. ඊට හේතු කවරේද?
මහණෙනි, මව්පියෝ පුත්‍රයන්ට බොහෝ උපකාර ඇත්තාහ. හදා වඩන්නෝය. පෝෂ්‍යය කරන්නෝය. මේ ලොව පෙන්වන්නාහුය.”
“ප්‍රජාවට අනුකම්පා කරණ මව්පියෝ පුත්‍රයන්ට බ්‍රහ්මයෝ යයිද, පූර්‍වාචාර්‍ය්‍යයෝ යයිද, දුර සිට ගෙනවුත් පිදිය යුත්තෝ යයිද, කියනු ලැබෙත්. එසේ හෙයින් ඤාණවන්ත තෙමේ ඔවුන් වඳින්නේය.
ආහාරයෙන්ද, නැවත පානයෙන්ද, වස්ත්‍රයෙන්ද, සේනාසනයෙන්ද, ඇඟ ඉලීමෙන්ද, නැහැවීමෙන්ද, පා දෙවීමෙන්ද සත්කාර කරන්නේය..
මවුපියන් කෙරෙහි කරණ මේ උපකාරයන් මෙලොවම ඔහුට ප්‍රශංසා කරත්. පරලොව ස්වර්‍ගයෙහි සතුට වේය” යි වදාළ සේක.
4. 2. 2. 4.
[නිරයසුත්තං] - නිරයගාමී ධම්ම සූත්‍රය
14. මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ තැනැත්තේ ගෙන එන ලද්දාක් බිම හෙළුවාක් මෙන් නරකයෙහි උපදියි. කවර සතරකින්ද යත්.
සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද.
මහණෙනි, මේ කරුණු සතරින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බිම හෙළුවාක් මෙන් නරකයෙහි උපදියි.
40. සතුන් මැරීමද, නුදුන් දේ ගැනීමද, බොරු කීමද, පරදාරාවන් කරා යාමද, පණ්ඩිතයෝ ප්‍රශංසා නොකෙරෙත්යයි කියනු ලැබේ.
4. 2. 2. 5.
[රූප (ප්පමාණ) සුත්තං] - රූප්පමාණ සූත්‍රය
15. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි වෙත්. කවර සතර දෙනෙක්ද යත්,
රූපය ප්‍රමාණයයි ගෙන, රූපයෙහි පැහැදෙන පුද්ගලයාය, ශබ්දය ප්‍රමාණයයි ගෙන, ශබ්දයෙහි පැහැදෙන පුද්ගලයාය, රූක්‍ෂ ප්‍රතිපත්තිය ප්‍රමාණයයි ගෙන, රූක්‍ෂ ප්‍රතිපත්තියෙහි පැහැදෙන පුද්ගලයාය, ධර්මය ප්‍රමාණයයි ගෙන, ධර්මයෙහි පැහැදෙන පුද්ගලයාය,
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
41. යමෙක් රූපය ප්‍රමාණ කළාහුද, යමෙක් ශබ්දයෙහි පැහැදුනාහුද? ඡන්‍ද රාග වශයෙන් යුක්ත ඔවුහු ඒ ජනයා නොහඳුනත්.
42. අධ්‍යාත්මයද නොදනිත්. පිටත්හි ප්‍රතිපත්තියද නොදනී. ඒකාන්තයෙන් ඒ බාල තෙම ශබ්දයෙන් පමණක් ප්‍රමාණ කරයිද, හාත්පසින් ආවරණවූයේ වේ.
43. අධ්‍යාත්ම ගුණය නොදනීද, බාහිර ප්‍රතිපත්ති නොදනීද, බාහිර සත්කාර ඵල දක්නේ, හෙතෙමේද ශබ්දයෙන් මුලාවෙයි.
44. අධ්‍යාත්ම ගුණය දනීද, බාහිර ප්‍රත්පත්ති නුවණින් දකීද, විවෘතව පෙනෙන ඔහු ශබ්දයෙන් මුළාවට ගෙන නොයයි.
4. 2. 2. 6.
[සරාග (පුග්ගල) සුත්තං] - බන්‍ධන වඩ්ඪන සූත්‍රය
16. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයන් සතරදෙනෙක් විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්, රාග සහිත, ද්වේෂ සහිත, මෝහ සහිත, මාන සහිත පුද්ගලයෝය.
මහණෙනි, මේ පුද්ගලයන් සතරදෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
45. ඇලුම් කටයුතු දෙයෙහි ඇළුණු, ප්‍රිය රූපයන්ට තුටුවන, මෝහයෙන් බැඳුනු අධර්‍ම සත්ත්‍වයෝ බැම්ම වඩත්.
46. අඥාන සත්ත්‍වයෝ රාගයෙන් හටගන්නාවූද, ද්වේෂයෙන් හටගන්නාවූද, මෝහයෙන් හටගන්නාවූද, දුක් සහිත මත්තෙහිද දුක් ගෙන දෙන අකුශල කර්ම කරත්.
47. අන්‍ධවූ, ප්‍රඥා චක්‍ෂුස රහිත අවිද්‍යාවෙන් වැසුණු පුරුෂයෝ රාගාදී ධර්මයන්හි සිටියාහු එබඳු සත්ත්‍වයෝයයි නොහඟිත්.
4. 2. 2. 7.
[අහි (මෙත්ත) සුත්තං] - අහිරාජ සූත්‍රය
17. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර අසල, අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි සැවැත් නුවර එක්තරා භික්‍ෂුවක් සර්‍පයකු විසින් දෂ්ට කරණ ලද්දේ කළුරිය කළේ විය. ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නාහුය. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කළහ: