4. 2. 2. 1.
1. පත්ත කම්ම සූත්රය
[සැවැත් නුවර නිදානයයි]
61. “ඉක්බිති අනේපිඬු ගෘහපති තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපතියාහට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“ගෘහපතිය, ලෝකයෙහි ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, දුර්ලභවූ මේ සතර ධර්ම කෙනෙක් වෙත්ය” යි වදාළසේක. “කවර සතර දෙනෙක්ද යත්,
මට ධර්මයෙන්ම භෝගයෝ උපදිත්වා යනු ලෝකයෙහි ඉෂ්ටවූ, කැමති වන්නාවූ, මන වඩන්නාවූ, දුර්ලභවූ මේ පළමුවන කාරණයයි.
“ධර්මයෙන්ම භොගයන් ලැබ, ඤාතීන් සමග, උපාධ්යායයන් සමග මාගේ කීර්තිය උස්ව නගීවා යන ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ මෙය ලෝකයෙහි දුර්ලභවූ මේ දෙවෙනි කාරණයයි.”
“ධර්මයෙන්ම භොගයන් ලැබ, කීර්තිය ලැබ, ඤාතීන් හා උපාධ්යායයන් හා බොහෝ කල් ජීවත් වෙමි. දීර්ඝ කාලයක් ආයුෂ විඳිමියි යන ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ මෙය ලෝකයෙහි දුර්ලභවූ මේ තුන්වෙනි කාරණයයි.”
“ධර්මයෙන්ම භොගයන් ලැබ, කීර්තිය ලැබ, ඤාතීන් හා උපාධ්යායයන් සමග බොහෝ කල් ජීවත්වී, දීර්ඝ කාලයක් ආයුෂ පාලනය කොට කායයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදිමි යන ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ මෙය ලෝකයෙහි දුර්ලභවූ සතරවන කාරණයයි.”
“ලෝකයෙහි ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, දුර්ලභවූ, මේ කරුණු සතර වෙති.
ලෝකයෙහි ඊෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ, දුර්ලභවූ මේ සතර ධර්මයන් ලැබීම පිණිස ධර්ම සතරක් පවතිත්. කවර සතරක්ද යත්,
“ශ්රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ත්යාග සම්පත්තිය, ප්රඥා සම්පත්තිය යන සතරයි.
“ගෘහපතිය, ශ්රද්ධා සම්පත්තිය කවරීද? “ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්ය්ය ශ්රාවක තෙම ශ්රද්ධාවත් වේද, ඒ භාග්යවතුන් වහන්සේ සම්යක් සම්බුද්ධයහ, විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූයහ, අනුත්තර පුරිසදම්ම සාරථීයහ, දෙවි මිනිසුන්ගේ ශාස්තෲයහ, චතුස්සත්යය අවබෝධ කලහ. භාග්යවත්හයි, තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය විශ්වාස කරයිද, ගෘහපතිය, මේ ශ්රද්ධා සම්පත්තියයයි කියනු ලැබේ.
“ගෘහපතිය, ශීල සම්පත්තිය කවරේද? “ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්ය්ය ශ්රාවක තෙම, ප්රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, රහමෙර බීමෙන් වැළැකුණේද, සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, පහවූ මසුරු මලින් යුත් සිතින් ගෙයි වසයිද, ශ්රමණ බ්රාහ්මණයන්ට ආක්රොශ පරිභව නොකරයිද, ගෘහපතිය, මේ සීල සම්පත්තියයි කියනු ලැබේ.
“ගෘහපතිය, ත්යාග සම්පත්තිය කවරේද? ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්ය්ය ශ්රාවක තෙම, පහවූ මසුරු මලින් යතු සිතින් ගෙයි වෙසේද, මුදවන ලද ත්යාග ඇත්තේද, ශුද්ධ කරණ ලද අත් ඇත්තේද, දානයෙහි ඇලුනේද, ඉල්ලීමට සුදුසු වූයේද, දීම, බෙදීම දෙකෙහි ඇලුනේද, ගෘහපතිය, මේ ත්යාග සම්පදායයි කියනු ලැබේ.
“ගෘහපතිය, ප්රඥා සම්පත්තිය කවරේද? “ගෘහපතිය, අභිජ්ඣා, විෂමලෝභයෙන් මඩනාලද සිතින් වාසය කරන්නේ නොකටයුතු කරයි. කටයුතු වරද්දයි. නොකටයුතුදේ කිරීමෙන්, කටයුතුදේ නොකිරීමෙන්, යසසින්ද, සැපයෙන්ද පිරිහෙයි. ගෘහපතිය, ව්යාපාදයෙන් මඩනාලද සිතින් වාසය කරන්නේ නොකටයුතු කරයි. කටයුතු නොකරයි. නොකටයුතු කිරීමෙන්, කටයුතු නොකිරීමෙන්, යසසින්ද, සැපෙන්ද පිරිහෙයි. ගෘහපතිය, ථීනම්ද්ධයෙන් මඩනාලද සිතින් වාසය කරන්නේ නොකටයුතු කරයි. කටයුතු නොකරයි. නොකටයුතු කිරීමෙන්, කටයුතු නොකිරීමෙන්, යසසින්ද, සැපෙන්ද පිරිහෙයි. ගෘහපතිය, උද්ධච්චකුක්කුච්චයෙන් යුක්තව වාසය කරන්නේ කටයුතු නොකරයි. නොකටයුතු කරයි. නොකටයුතු කිරීමෙන්, කටයුතු නොකිරීමෙන්, යසසින්ද, සැපයෙන්ද පිරිහෙයි. ගෘහපතිය, විචිකිච්ඡාවෙන් මඩනාලද සිතින් යුක්තව වාසය කරන්නේ නොකටයුතු කරයි. කටයුතු නොකරයි. නොකටයුතු කිරීමෙන්, කටයුතු නොකිරීමෙන්, යසසින්ද, සැපෙන්ද පිරිහෙයි.
“ගෘහපතිය, ඒ ආර්ය්ය ශ්රාවක තෙම අභිජ්ඣා විෂම ලෝභය සිතේ කිලුටකැයි මෙසේ දැන, සිතට උපක්ලේශවූ අභිජ්ඣා විෂම ලෝභය දුරුකරයි. ව්යාපාදය සිතේ කිලුටකැයි මෙසේ දැන, සිතට උපක්ලේශවූ ව්යාපාදය දුරලයි. ථීනම්ද්ධය සිතේ උපක්ලේශයකැයි දැන සිතට උපක්ලේශවූ ථීනම්ද්ධය දුරලයි. උද්ධච්චකුක්කුච්චය සිතේ උපක්ලේශයකැයි දැන සිතට උපක්ලේශවූ උද්ධච්චකුක්කුච්චය දුරලයි. විචිකිච්ඡාව සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ විචිකිච්ඡාව දුරලයි.
ගෘහපතිය, යම් කලක පටන් ආර්ය්ය ශ්රාවකයාට අභිජ්ඣා විෂම ලෝභය සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ අභිජ්ඣා විෂම ලෝභය ප්රහීණවූයේ වේද, ව්යාපාදය සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ ව්යාපාදය ප්රහීණවූයේ වේද, ථීනම්ද්ධය සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ ථීනම්ද්ධය ප්රහීණවූයේ වේද, උද්ධච්චකුක්කුච්චය සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ උද්ධච්චකුක්කුච්චය ප්රහීණවූයේ වේද, විචිකිච්ඡාව සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ විචිකිච්ඡාව ප්රහීණවූයේ වේද, ගෘහපතිය, මේ ආර්ය්ය ශ්රාවක තෙම මහත් ප්රඥා ඇත්තේද, පැතුරුණු ඒ ඒ ප්රඥාව ඇත්තේද, පැමිණි දේ දන්නේද, ප්රඥාවෙන් සමන්විතවූයේද, ගෘහපතිය, මේ ප්රඥා සම්පදායයි කියනු ලැබේ.
“ගෘහපතිය, ඉෂ්ටවූ කාන්තවූ, මන වඩන්නාවූ, ලෝකයෙහි දුර්ලභවූ, මේ සතර ධර්මයන් ලැබීම පිණිස මේ සතර ධර්මයෝ පවතිත්.