4. 1. 5. 7.
7. සුවිදුරවිදුර සූත්‍රය
47. “මහණෙනි, ඉතා දුරවූ මේ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
“මහණෙනි, අහසද, පොළොවද යන මෙය පළමුවෙනි ඉතා දුරවූ කරුණය. සමුද්‍රයේ එතෙරද, මෙතෙරද යන මෙය දෙවෙනි ඉතා දුරවූ කරුණය, මහණෙනි, යම් තැනකින් සූර්‍ය්‍යයා පහළවේද, යම් තැනක අස්තඞ්ගම වේද, මේ තුන්වෙනි ඉතා දුරවූ කරුණයි. මහණෙනි, සත්පුරුෂ ධර්‍මයද, අසත්පුරුෂ ධර්‍මයද යන මෙය සතරවන ඉතා දුරවූ කරුණයි.
“මහණෙනි, මේ සතර දුරවූවෝ වෙති.”
“අහසද දුරෙහිය. පොළොවද දුරෙහිය. සමුද්‍රයෙන් එතෙරද දුරය. යම් තැනකින් ආලෝකය ගෙන දෙන සූර්‍ය්‍යා උදාවේද, යම් තැනක අස්ත වේද,
“එමෙන් සත්පුරුෂ ධර්‍මයද, අසත්පුරුෂ ධර්‍මයද ඒකාන්තයෙන් ඊටක් වඩා අතිශයින් දුරයයි කියත්. සත්පුරුෂයන්ගේ සමාගමය වෙනස් නොවන ස්වභාව ඇත්තේය. යම්තාක් කල් පවතී නම්, ඒ තාක් එසේම වේ. අසත්පුරුෂයන්ගේ සමාගමය වහා වෙනස් වේ. එසේ හෙයින් අසත්පුරුෂ සමාගමයෙන් සත්පුරුෂයන්ගේ ධර්මය ඈත්ව සිටියේය.”
4. 1. 5. 8.
8. විශාඛ පඤ්චාල පුත්ත සූත්‍රය
48. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි පඤ්චාලී පුත්‍ර ආයුෂ්මත් විසාඛ ස්ථවිර තෙමේ, උපස්ථාන ශාලාවෙහි භික්‍ෂූන් පැහැදිලි, නිර්දෝෂවූ අර්ත්‍ථ හඟවන, විවර්‍තපර්‍ය්‍යාපන්නවූ, විවර්‍තනිශ්‍රීතවූ, සම්පූර්‍ණ කථාවෙන් නිදර්‍ශන සහිතව කියයි. සමාදන් කරවයි. තෙද ගන්වයි. සතුටු කරවයි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලාවෙහි ඵල සමවතින් නැගිට සිටිසේක් උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද, එතැනට වැඩි සේක. පැමිණ, පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ භික්‍ෂූන්ට ඇමතූ සේක. මහණෙනි, කවරෙක් උපස්ථාන ශාලාවෙහි භික්‍ෂූන් පැහැදිලි, නිර්දෝෂවූ අර්ත්‍ථ හඟවන, විවර්‍තපර්‍ය්‍යාපන්නවූ, විවර්‍තනිශ්‍රීතවූ, සම්පූර්‍ණ කථාවෙන් නිදර්‍ශන සහිතව කියයිද. සමාදන් කරවයිද. තෙද ගන්වයිද. සතුටු කරවයිදැයි විචාළ සේක.
“ස්වාමීනි, ආයුෂ්මත් පඤ්චාලී පුත්‍ර විසාඛ තෙමේ, උපස්ථාන ශාලාවෙහි භික්‍ෂූන් පැහැදිලි, නිර්දෝෂ අර්ත්‍ථ හඟවන, විවර්‍තපර්‍ය්‍යාපන්න, විවර්‍තනිශ්‍රීත, සම්පූර්‍ණ කථාවෙන් භික්‍ෂූන් නිදර්‍ශන සහිතව කියයි. සමාදන් කරවයි. තෙද ගන්වයි. සතුටු කරවයි.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පඤ්චාලීපුත්‍රවූ ආයුෂ්මත් විසාඛ තෙරුන්ට, ‘විසාඛ, යහපත’. යහපත’. විසාඛ ඔබ පැහැදිලි, නිර්දෝෂ අර්ත්‍ථ හඟවන, විවර්‍තපර්‍ය්‍යාපන්න, විවර්‍තනිශ්‍රීත, සම්පූර්‍ණ කථාවෙන් භික්‍ෂූන්ට නිදර්‍ශන සහිතව කීයෙහිය. සමාදන් කරවූයෙහිය. තෙද ගැන්වූයෙහිය. සතුටු කරවූහ. යහපතැ’ යි වදාළ සේක.
“කථා නොකරන්නාවූ පණ්ඩිතයාගේ බාලයන් හා ඇති වෙනස නොදනිත්. අමෘත පදය දේශනා කරණ කල්හිම බාලයාගේත්, පණ්ඩිතයාගේත් වෙනස දැන ගනිත්.
“ධර්මය කියන්නේය. බබුළුවන්නේය. ඎෂීන්ගේ ධජය ඔසවන්නේය. ඎෂීහු සුභාෂිතය ධජය කොට ඇත්තාහ. ධර්මය ඎෂීන්ගේ ධජයයි.”
4. 1. 5. 9.
9. චතුවිපල්ලාස සූත්‍රය
49. “මහණෙනි, මේ විපරීත සංඥාවෝ, විපරීත චිත්තයෝ, විපරීත දෘෂ්ටීහු සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
“මහණෙනි, අනිත්‍යයෙහි නිත්‍යය යන මෙය විපරීත සංඥාවකි. විපරීත චිත්තයකි, විපරීත දෘෂ්ටියකි. මහණෙනි, දුකෙහි සැපය යන මෙය විපරීත සංඥාවකි. විපරීත සිතකි, විපරීත දෘෂ්ටියකි. මහණෙනි, අනාත්මයෙහි ආත්මය යන මෙය විපරීත සංඥාවකි. විපරීත චිත්තයකි, විපරීත දෘෂ්ටියකි. මහණෙනි, අසුභයෙහි ශුභය යන මෙය විපරීත සංඥාවකි. විපරීත චිත්තයකි, විපරීත දෘෂ්ටියකි. මහණෙනි, මේ සතර විපරීත සංඥාවෝය. විපරීත චිත්තයෝය. විපරීත දෘෂ්ටීහුය.