4. 1. 5. 8.
8. විශාඛ පඤ්චාල පුත්ත සූත්‍රය
48. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි පඤ්චාලී පුත්‍ර ආයුෂ්මත් විසාඛ ස්ථවිර තෙමේ, උපස්ථාන ශාලාවෙහි භික්‍ෂූන් පැහැදිලි, නිර්දෝෂවූ අර්ත්‍ථ හඟවන, විවර්‍තපර්‍ය්‍යාපන්නවූ, විවර්‍තනිශ්‍රීතවූ, සම්පූර්‍ණ කථාවෙන් නිදර්‍ශන සහිතව කියයි. සමාදන් කරවයි. තෙද ගන්වයි. සතුටු කරවයි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලාවෙහි ඵල සමවතින් නැගිට සිටිසේක් උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද, එතැනට වැඩි සේක. පැමිණ, පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ භික්‍ෂූන්ට ඇමතූ සේක. මහණෙනි, කවරෙක් උපස්ථාන ශාලාවෙහි භික්‍ෂූන් පැහැදිලි, නිර්දෝෂවූ අර්ත්‍ථ හඟවන, විවර්‍තපර්‍ය්‍යාපන්නවූ, විවර්‍තනිශ්‍රීතවූ, සම්පූර්‍ණ කථාවෙන් නිදර්‍ශන සහිතව කියයිද. සමාදන් කරවයිද. තෙද ගන්වයිද. සතුටු කරවයිදැයි විචාළ සේක.
“ස්වාමීනි, ආයුෂ්මත් පඤ්චාලී පුත්‍ර විසාඛ තෙමේ, උපස්ථාන ශාලාවෙහි භික්‍ෂූන් පැහැදිලි, නිර්දෝෂ අර්ත්‍ථ හඟවන, විවර්‍තපර්‍ය්‍යාපන්න, විවර්‍තනිශ්‍රීත, සම්පූර්‍ණ කථාවෙන් භික්‍ෂූන් නිදර්‍ශන සහිතව කියයි. සමාදන් කරවයි. තෙද ගන්වයි. සතුටු කරවයි.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පඤ්චාලීපුත්‍රවූ ආයුෂ්මත් විසාඛ තෙරුන්ට, ‘විසාඛ, යහපත’. යහපත’. විසාඛ ඔබ පැහැදිලි, නිර්දෝෂ අර්ත්‍ථ හඟවන, විවර්‍තපර්‍ය්‍යාපන්න, විවර්‍තනිශ්‍රීත, සම්පූර්‍ණ කථාවෙන් භික්‍ෂූන්ට නිදර්‍ශන සහිතව කීයෙහිය. සමාදන් කරවූයෙහිය. තෙද ගැන්වූයෙහිය. සතුටු කරවූහ. යහපතැ’ යි වදාළ සේක.
“කථා නොකරන්නාවූ පණ්ඩිතයාගේ බාලයන් හා ඇති වෙනස නොදනිත්. අමෘත පදය දේශනා කරණ කල්හිම බාලයාගේත්, පණ්ඩිතයාගේත් වෙනස දැන ගනිත්.
“ධර්මය කියන්නේය. බබුළුවන්නේය. ඎෂීන්ගේ ධජය ඔසවන්නේය. ඎෂීහු සුභාෂිතය ධජය කොට ඇත්තාහ. ධර්මය ඎෂීන්ගේ ධජයයි.”
4. 1. 5. 9.
9. චතුවිපල්ලාස සූත්‍රය
49. “මහණෙනි, මේ විපරීත සංඥාවෝ, විපරීත චිත්තයෝ, විපරීත දෘෂ්ටීහු සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
“මහණෙනි, අනිත්‍යයෙහි නිත්‍යය යන මෙය විපරීත සංඥාවකි. විපරීත චිත්තයකි, විපරීත දෘෂ්ටියකි. මහණෙනි, දුකෙහි සැපය යන මෙය විපරීත සංඥාවකි. විපරීත සිතකි, විපරීත දෘෂ්ටියකි. මහණෙනි, අනාත්මයෙහි ආත්මය යන මෙය විපරීත සංඥාවකි. විපරීත චිත්තයකි, විපරීත දෘෂ්ටියකි. මහණෙනි, අසුභයෙහි ශුභය යන මෙය විපරීත සංඥාවකි. විපරීත චිත්තයකි, විපරීත දෘෂ්ටියකි. මහණෙනි, මේ සතර විපරීත සංඥාවෝය. විපරීත චිත්තයෝය. විපරීත දෘෂ්ටීහුය.
“මහණෙනි, මේ සතර විපරීත සංඥාවෝ නොවෙති. විපරීත චිත්තයෝ නොවෙති. විපරීත දෘෂ්ටීහු නොවෙති. කවර සතර දෙනෙක්ද?
“මහණෙනි, අනිත්‍යයෙහි අනිත්‍යය යන මෙය විපරීත සංඥාවක් නොවේ. විපරීත චිත්තයක් නොවේ, විපරීත දෘෂ්ටියක් නොවේ. මහණෙනි, දුකෙහි දුකය යන මෙය විපරීත සංඥාවක් නොවේ. විපරීත චිත්තයක් නොවේ, විපරීත දෘෂ්ටියක් නොවේ. මහණෙනි, අනාත්මයෙහි අනාත්මය යන මෙය විපරීත සංඥාවක් නොවේ. විපරීත චිත්තයක් නොවේ, විපරීත දෘෂ්ටියක් නොවේ. මහණෙනි, අසුභයෙහි අශුභය යන මෙය විපරීත සංඥාවක් නොවේ. විපරීත චිත්තයක් නොවේ, විපරීත දෘෂ්ටියක් නොවේ.
“මහණෙනි, මේ සතර සංඥා විපය්‍යාසයෝ නොවෙති. චිත්ත විපර්‍ය්‍යාසයෝ නොවෙති. දිට්ඨි විපර්‍ය්‍යාසයෝ නොවෙති.”
“අනිත්‍යයෙහි නිත්‍යය යන සංඥා ඇත්තාවූද, දුකෙහි සැපය යන සංඥා ඇත්තාවූද, අනාත්මයෙහි ආත්මය යන සංඥා ඇත්තාවූද, අශුභයෙහි ශුභය යන සංඥා ඇත්තාවූද,
“වික්‍ෂිප්තවූ සිත් ඇති, විපරීත සංඥා ඇති, මිත්‍ථ්‍යාදෘෂ්ටි ගත්, මාරයාගේ බැම්මෙහි බැදුනාවූ, යොගයන් ක්‍ෂය නොකළ ජනයන් වන ඒ සත්ත්‍වයෝ
“ඉපදීමට, මරණයට පැමිණෙමින් සසර ගමන් කරත්. යම් කලෙක්හි ආලෝකය ඇති කරන්නාවූ බුදුවරයෝ ලෝකයෙහි උපදිත්ද,
“ඔවුහු දුක සංසිඳීමට යන මේ ධර්‍මය ප්‍රකාශ කරත්. නුවණැත්තෝ ඔවුන්ගේ ධර්‍මය අසා ස්වකීය චිත්තය ලැබ,
“අනිත්‍යය අනිත්‍යය වශයෙන් දැක්කාහුය. දුක, දුක වශයෙන් දැක්කාහුය. අනාත්මය, අනාත්මය වශයෙන් දැක්කාහුය. අශුභය, අශුභ වශයෙන් දැක්කාහුය. සම්‍යක් දෘෂ්ටි ඇතිවීමෙන් සියලු දුක ඉක්මවූවාහුය.”
4. 1. 5. 10.
10. චන්‍දිම සුරියොපක්කිලෙස සූත්‍රය
50. “මහණෙනි, යම්බඳු උපක්ලේශයන්ගෙන් වැසුණු චන්‍ද්‍ර සූර්‍ය්‍යයෝ නොතවත්ද, එලිය නොදෙත්ද, නොබබලත්ද, චන්‍ද්‍ර සූර්‍ය්‍යයන්ට මේ උපක්ලෙශ සතරක් වෙත්. කවර සතරක්ද යත්.
“යම් උපක්ලෙශයකින් වැසුණු චන්‍ද්‍ර සූර්‍ය්‍යයෝ නොතවත්ද, එලිය නොදෙත්ද, නොබබලත්ද, මහණෙනි, වළාකුල් චන්‍ද්‍ර සූර්‍ය්‍යන්ට උපක්ලෙශයකි. යම් උපක්ලෙශයකින් වැසුණු චන්‍ද්‍ර සූර්‍ය්‍යයෝ නොතවත්ද, එලිය නොදෙත්ද, නොබබලත්ද, මහණෙනි, හිම චන්‍ද්‍ර සූර්‍ය්‍යන්ට උපක්ලෙශයකි. යම් උපක්ලෙශයකින් වැසුණු චන්‍ද්‍ර සූර්‍ය්‍යයෝ නොතවත්ද, එලිය නොදෙත්ද, නොබබලත්ද, මහණෙනි, දුම් හා රජස් චන්‍ද්‍ර සූර්‍ය්‍යන්ට උපක්ලෙශයකි. යම් උපක්ලෙශයකින් වැසුණු චන්‍ද්‍ර සූර්‍ය්‍යයෝ නොතවත්ද, එලිය නොදෙත්ද, නොබබලත්ද, මහණෙනි, රාහු චන්‍ද්‍ර සූර්‍ය්‍යන්ට උපක්ලෙශයකි. යම් උපක්ලෙශයකින් වැසුණු චන්‍ද්‍ර සූර්‍ය්‍යයෝ නොතවත්ද, එලිය නොදෙත්ද, නොබබලත්ද, මහණෙනි, මේ චන්‍ද්‍ර සූර්‍ය්‍යන්ට සතර උපක්ලේශයෝය.