4. 1. 4. 9.
9. උජ්ජය සූත්‍රය
39. “ඉක්බිති උජ්ජාය නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතුවූ, සිහි කටයුතුවූ, කථා කොට නිමවා එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන් උජ්ජාය බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“භවත් ගෞතමයන් වහන්සේත් යාග කිරීම වර්‍ණනා කෙරෙද්ද?” යනුය.
“බ්‍රාහ්මණය, මම සියලු යාග වර්‍ණනා නොකරමි. බ්‍රහ්මණය, මම සියලුම යාග වර්‍ණනා නොකරන්නේද නොවෙමි. බ්‍රාහ්මණය, යම් බඳු යාගයෙක්හි ගවයන් මරත්ද, එළු බැටලුවන් මරත්ද, කුකුළන් ඌරන් මරත්ද, නොයෙක් ප්‍රාණීහු විනාශයට පමුණුවත්ද, බමුණ, මම මෙබඳුවූ ප්‍රාණඝාතය පිළිබඳ බොහෝ කටයුතු සහිත යාග වර්‍ණනා නොකරමි. ඊට හේතු කවරේද? “බමුණ, මෙබඳු ප්‍රාණඝාතය පිළිබඳ බොහෝ කටයුතු ඇති යාගයට රහත්හු හෝ, රහත් මාර්‍ගයට පිළිපන්නාහු හෝ නොඑළඹෙත්.
බමුණ, යම් බඳු යාගයෙක්හි ගවයන් නොමරත්ද, එළු බැටලුවන් නොමරත්ද, කුකුළන් ඌරන් නොමරත්ද, නොයෙක් සතුන් මරණයට නොපමුණුවත්ද, බ්‍රාහ්මණය, මම මෙබඳුවූ ප්‍රාණඝාතය පිළිබඳ බොහෝ කටයුතු නැති යාගය වර්‍ණනා කරමි. එනම්: සලාක දානයත්, පරම්පරාගත දානයත් යන දෙකයි. ඊට හේතු කවරේද? බමුණ, මෙබඳු නිරාරම්භ දානයට රහත්හු හෝ රහත් මාර්‍ගයට පිළිපන්නාහු හෝ පැමිණෙත්.
“අස්සමෙධ යාගය, පුරුෂමෙධ යාගය, සම්මාපාස යාගය, වාජපෙය්‍ය යාගය, නිරග්ගල යාගය, යන මහත් කටයුතු ඇති ඒ මහා යාගයෝ මහත්ඵල නොවෙත්.
එළු බැටලුවන්ද, ගවයන්ද යන නානාප්‍රකාර සත්ත්‍වයෝ යම් යාගයෙක්හි නසනු ලැබෙත්ද, ඒ යාගයන් යහපත්මාර්‍ගයෙහි පිළිපන් මහත් ඎෂීහු කරා නොපැමිණෙත්.
යම්කිසි යාගයක් මහත් කටයුතු නැත්තේද, පරම්පරාගතව එන්නේද, එළු බැටළුවන්ද, ගවයන්ද, නානාප්‍රකාර සත්ත්‍වයෝ මෙහි නසනු නොලැබෙත්ද,
යහපත් මාර්‍ගයෙහි පිළිපන් මහර්ෂීහු ඒ යාගයට පැමිණෙත්. ඤාණවන්ත මේ යාගය කරන්නේය. මේ යාගය මහත් ඵලයි.
මෙය යාගය කරන්නා ශ්‍රේෂ්ඨවේ. ලාමකයෙක් නොවේ. යාගයද මහත් ඵල වේ. දෙවියෝද පහදිත්.”
4. 1. 4. 10.
10. උදායි බ්‍රාහ්මණ සූත්‍රය
40. “ඉක්බිති උදායි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයුතු කථා කොට නිමවා එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන් උදායි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ගෞතමයන් වහන්නේ යාගය වර්‍ණනා කරන්නේද?” යනුයි.
“බමුණ, මම සියලු යාගම වර්‍ණනා නොකරමි. බ්‍රාහ්මණය, මම සියලු යාග වර්‍ණනා නොකරන්නෙම්ද නොවෙමි. බමුණ, යම් බඳු යාගයෙක්හි ගවයන් මරත්ද, එළු බැටළුවන් මරත්ද, ඌරන් කුකුළන් මරත්ද, නොයෙක් ප්‍රාණීහු විනාශයට පමුණුවත්ද, බමුණ, මම මෙබඳුවූ බොහෝ කටයුතු ඇති, ප්‍රාණීන් මරණ යාග වර්‍ණනා නොකරමි. ඊට හේතු කවරේද? “බමුණ, මෙබඳුවූ බොහෝ කටයුතු ඇති යාගයට රහත්හු හෝ රහත් මාර්‍ගයට පිළිපන්නාහු හෝ නොපැමිණෙත්.
බමුණ, යම්බඳු යාගයෙක්හි ගවයන් නොමරත්ද, එළුවන් බැටළුවන් නොමරත්ද, කුකුලන් ඌරන් නොමරත්ද, නොයෙක් ප්‍රාණීන් විනාශයට නොපමුණුවද්ද, බමුණ, මම මෙබඳු යාග වර්‍ණනා කරමි. එනම්, නිත්‍ය දානයත්, පරම්පරාවේ එන දානයත්ය. ඊට හේතු කවරේද? බමුණ මෙබඳු ප්‍රාණීන් නොමරණ යාගයට රහත්හු හෝ රහත් මාර්‍ගයට පිළිපන්නාහු එළඹෙත්.
“සුඳුසු කාලයෙක්හි රැස් කරණ ලද කැපවූ සතුන් නොමරණ යාගයක් වේද, එබඳු යාගය කරා සංයමවූ බ්‍රහ්මචාරීහු පැමිණෙත්.
කාලයද ගතියද ඉක්මවූ, පහකළ කෙළෙස් වැසුම් ඇති, පිණට දක්‍ෂ යම් බුදුවරයෝ ලෝකයෙහි වෙත්ද, උන්වහන්සේලා මේ යාගය පසසත්.
ප්‍රකෘති දානයෙහි හෝ මතක දානයෙහි හෝ පැහැදුනු සිත් ඇත්තේ, සුදුසු පරිද්දෙන් දෙය්‍ය ධර්‍මයන් සකස්කොට, බ්‍රහ්මචාරීන් කෙරෙහි යහපත් ක්‍ෂෙත්‍රයෙහි පුදයි.
දක්‍ෂිණාවට සුදුස්සන් කෙරෙහි යමක් කරණ ලද්දේද, එය මනාකොට නිමකරණ ලද්දකි. මනාකොට පුදන ලද්දකි. මනාකොට පැමිණෙන ලද්දකි. පිදීමද මහත්වේ. දෙවියෝද පහදිත්.
පරිත්‍යාග චිත්තයෙන් යුක්තව, ශ්‍රද්‍ධාවත් ප්‍රඥාවන්ත තෙම මෙසේ යාගකොට පණ්ඩිත තෙම ව්‍යාපාද නැති, සැපවත් භවයකට පැමිණේ.”
සතරවෙනි චක්ක වර්‍ගය නිමි.
තස්සුද්දානං:
චක්‍රය, සංග්‍රහය, සිංහය, ප්‍රසාදය, පස්වැනි වස්සකාරය, ලෝකය, අපරිහානිය, පටිලීනය, උජ්ජාය හා උදායී යැයි ඒ දසයයි.