4. 1. 4. 10.
10. උදායි බ්‍රාහ්මණ සූත්‍රය
40. “ඉක්බිති උදායි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයුතු කථා කොට නිමවා එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන් උදායි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ගෞතමයන් වහන්නේ යාගය වර්‍ණනා කරන්නේද?” යනුයි.
“බමුණ, මම සියලු යාගම වර්‍ණනා නොකරමි. බ්‍රාහ්මණය, මම සියලු යාග වර්‍ණනා නොකරන්නෙම්ද නොවෙමි. බමුණ, යම් බඳු යාගයෙක්හි ගවයන් මරත්ද, එළු බැටළුවන් මරත්ද, ඌරන් කුකුළන් මරත්ද, නොයෙක් ප්‍රාණීහු විනාශයට පමුණුවත්ද, බමුණ, මම මෙබඳුවූ බොහෝ කටයුතු ඇති, ප්‍රාණීන් මරණ යාග වර්‍ණනා නොකරමි. ඊට හේතු කවරේද? “බමුණ, මෙබඳුවූ බොහෝ කටයුතු ඇති යාගයට රහත්හු හෝ රහත් මාර්‍ගයට පිළිපන්නාහු හෝ නොපැමිණෙත්.
බමුණ, යම්බඳු යාගයෙක්හි ගවයන් නොමරත්ද, එළුවන් බැටළුවන් නොමරත්ද, කුකුලන් ඌරන් නොමරත්ද, නොයෙක් ප්‍රාණීන් විනාශයට නොපමුණුවද්ද, බමුණ, මම මෙබඳු යාග වර්‍ණනා කරමි. එනම්, නිත්‍ය දානයත්, පරම්පරාවේ එන දානයත්ය. ඊට හේතු කවරේද? බමුණ මෙබඳු ප්‍රාණීන් නොමරණ යාගයට රහත්හු හෝ රහත් මාර්‍ගයට පිළිපන්නාහු එළඹෙත්.
“සුඳුසු කාලයෙක්හි රැස් කරණ ලද කැපවූ සතුන් නොමරණ යාගයක් වේද, එබඳු යාගය කරා සංයමවූ බ්‍රහ්මචාරීහු පැමිණෙත්.
කාලයද ගතියද ඉක්මවූ, පහකළ කෙළෙස් වැසුම් ඇති, පිණට දක්‍ෂ යම් බුදුවරයෝ ලෝකයෙහි වෙත්ද, උන්වහන්සේලා මේ යාගය පසසත්.
ප්‍රකෘති දානයෙහි හෝ මතක දානයෙහි හෝ පැහැදුනු සිත් ඇත්තේ, සුදුසු පරිද්දෙන් දෙය්‍ය ධර්‍මයන් සකස්කොට, බ්‍රහ්මචාරීන් කෙරෙහි යහපත් ක්‍ෂෙත්‍රයෙහි පුදයි.
දක්‍ෂිණාවට සුදුස්සන් කෙරෙහි යමක් කරණ ලද්දේද, එය මනාකොට නිමකරණ ලද්දකි. මනාකොට පුදන ලද්දකි. මනාකොට පැමිණෙන ලද්දකි. පිදීමද මහත්වේ. දෙවියෝද පහදිත්.
පරිත්‍යාග චිත්තයෙන් යුක්තව, ශ්‍රද්‍ධාවත් ප්‍රඥාවන්ත තෙම මෙසේ යාගකොට පණ්ඩිත තෙම ව්‍යාපාද නැති, සැපවත් භවයකට පැමිණේ.”
සතරවෙනි චක්ක වර්‍ගය නිමි.
තස්සුද්දානං:
චක්‍රය, සංග්‍රහය, සිංහය, ප්‍රසාදය, පස්වැනි වස්සකාරය, ලෝකය, අපරිහානිය, පටිලීනය, උජ්ජාය හා උදායී යැයි ඒ දසයයි.
5. රොහිතස්ස වර්‍ගය
4. 1. 5. 1.
සමාධිභාවනා සූත්‍රය
සැවැත් නුවර නිදානයි.
41. “මේ සමාධි භවනා සතර දෙනෙකි. කවර සතර දෙනෙක්ද යත්,
මහණෙනි, වඩන ලද, බහුල කරණ ලද, සමාධි භාවනාවක් මේ ආත්මයෙහි සැප විහරණ පිණිස වන්නීද, එබඳු සමාධි භාවනාවක් ඇත්තේය.
මහණෙනි, වඩන ලද, බහුල කරණ ලද සමාධි භාවනාවක්, දිව්‍යචක්‍ෂුරභිඥානය පිණිස වන්නේද, එබඳු සමාධි භාවනාවක් ඇත්තේය.
වඩන ලද්දාවූ, බහුල කරණ ලද්දාවූ සමාධි භාවනාවක්, සිහිය හා නුවණින් දැනීම පිණිස පවතීද, මහණෙනි, එබඳු සමාධි භාවනාවක් ඇත.
වඩන ලද, බහුල කරණ ලද, සමාධි භාවනාවක්, ආශ්‍රවයන් ක්‍ෂය කිරීම පිණිස පවතියිද, එබඳු සමාධි භාවනාවක් ඇත.
“මහණෙනි, වඩනලද, බහුල කරණ ලද, කවර සමාධි භාවනාවක් මේ ආත්මයෙහි සැප විහරණය පිණිස පවතීද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම, කාමයන්ගෙන් වෙන්ව, අකුශලයන්ගෙන් වෙන්වම, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, වඩන ලද, බහුල කරණ ලද මේ සමාධි භාවනාව මේ ආත්මයෙහි සැප විහරණය පිණිස පවතීයයි කියනු ලැබේ.
“මහණෙනි, වඩන ලද, බහුල කරණ ලද කවර සමාධි භාවනාවක් දිව්‍ය චක්‍ෂුස ලැබීම පිණිස පවතීද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ආලෝක සංඥාව මෙනෙහි කරයිද, දහවල්ය යන සංඥාව මෙනෙහි කරයිද, දහවල් යම් සේද, එසේම රාත්‍රියද, රාත්‍රිය යම් සේද, එසේද දවාලද, මෙසේ විවෘතවූ, නොවැසුණාවූ සිතින් ආලෝක සහිත සිත වඩයිද, මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරණ ලද්දාවූ, මේ සමාධි භාවනාව දිව්‍ය චක්‍ෂුව ලැබීම පිණිස පවතී.
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරණ ලද්දාවූ කවර සමාධි භාවනාවක් සිහිය හා නුවණින් දැනීම පිණිස පවතීද,
මහණෙනි, මේ ශාසනයෙහි මහණහට ප්‍රකටව වේදනාවෝ උපදිත්ද, ප්‍රකටව වේදනා හටගනිත්ද, ප්‍රකටව වේදනා අභාවයට යත්ද, ප්‍රකටව හටගනිත්ද, ප්‍රකටව අභාවයට යෙත්ද, ප්‍රකටවූ සංඥා, ප්‍රකටවූ විතර්‍ක උපදිත්ද, මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ සමාධි භාවනා තොමෝ සිහිය හා නුවණින් දැනීම පිණිස පවතී.
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරණ ලද්දාවූ, කවර සමාධි භාවනාව ආශ්‍රවයන් ක්‍ෂයවීම පිණිස පවතීද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම උපාදාන ස්කන්‍ධ පසෙහි ඉපදීමද, විනාශයද, දකිමින් වාසය කරයිද, මේ රූපයයි, මේ රූපයාගේ ඉපදීමයි, මේ රූපයාගේ නැතිවීමයි, මේ වේදනාවයි, මේ වේදනාවගේ ඉපදීමයි, මේ වේදනාවගේ නැතිවීමයි, මේ සංඥාවයි, මේ සංඥාවගේ ඉපදීමයි, මේ සංඥාවගේ නැතිවීමයි, මේ සංස්කාරයෝයි. මේ සංස්කාරයන්ගේ ඉපදීමයි, මේ සංස්කාරයන්ගේ නැතිවීමයි, මේ විඤ්ඤාණයාගේ ඉපදීමයි, මේ විඤ්ඤාණයාගේ නැතිවීමයි. මහණෙනි, මේ වඩන ලද්දාවූ, බහුල කරණ ලද්දාවූ, මේ සමාධි භාවනාව ආශ්‍රවයන් ක්‍ෂයවීම පිණිස පවතී.