4. 1. 4. 8.
8. පටිළීන සූත්‍රය
38. “මහණෙනි, මෙයම සත්‍යයයි වෙන වෙනම ගත් දෘෂ්ටි දුරු කළ, සියලු සෙවීම් අත්හළ, ආශ්වාස, ප්‍රශ්වාස සංසිඳවූ මහණ තෙම විවේකයට පැමිණි යේයයි කියනු ලැබේ.
මහණෙනි, කෙසේනම් මහණ තෙම මෙය සත්‍යයයි වෙන වෙනම ගත් දෘෂ්ටි දුරු කෙළේ වෙයිද? මහණෙනි, මේ ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ මේම සත්‍යයයි ගත් නොයෙක් බොහෝවූ දෘෂ්ටි වෙත්ද, ඒ කවරහුද? ලෝකය ශාශ්වතයයි කියා හෝ ලෝකය අශාශ්වතයයි කියා හෝ ලෝකය අන්තයක් ඇත්තේයයි කියා හෝ ලෝකය අන්තයක් නැත්තේයයි කියා හෝ එයම ජීවයද, එයම ශරීරයද වෙයි කියා හෝ අනිකක් ජීවය අනිකක් ශරීරය කියා හෝ සත්ත්‍වයා මරණින් මතු වෙයි කියා හෝ සත්ත්‍වයා මරණින් මතු නොවෙයි කියා හෝ සත්ත්‍වයා මරණින් මතු වෙයි නොවෙයි කියා හෝ සත්ත්‍වයා මරණින් මතු නොවෙයි නොදනොවෙයි කියා හෝ ගන්නාවූ දෘෂ්ටීහුය. භික්‍ෂුව විසින් ඒ සියලු දෘෂ්ටි උදුරා දමන ලද්දාහුද, හරන ලද්දාහුද, දුරු කරණ ලද්දාහුද, මුදන ලද්දාහුද, පහ කරණ ලද්දාහුද, ඉවත් කරණ ලද්දාහුද, මහණෙනි, මහණ තෙම මෙසේ වනාහි උදුරා දමන ලද වෙන වෙනම ගත් දෘෂ්ටි ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් භික්‍ෂු තෙම දුරු කළ සියලු සෙවීම් ඇත්තේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුවගේ (අනාගාමී මාර්‍ගයෙන්) කාමයන් සෙවීම ප්‍රහීණවූයේ වේද, (අර්‍හත් මාර්‍ගයෙන්) භවයන් සෙවීම ප්‍රහීණ වූයේ වේද, (අර්‍හත් මාර්‍ගයෙන්) බ්‍රහ්මවර්‍ය්‍යා සෙවීම සංසිඳුනේ වේද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂු තෙම දුරුකළ සියලු සෙවීම් ඇත්තේ වේ.
“මහණෙනි, කෙසේ නම් භික්‍ෂු තෙම සංසිඳුනු ආශ්වාස, ප්‍රශ්වාස ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සැපය ප්‍රහීන වීමෙන්ද, දුක්ඛය ප්‍රහීන වීමෙන්ද, සොම්නස්, දොම්නස් දෙදෙනාගේ අස්තඞ්ගතයෙන්, දුක් නැති, සැප නැති, උපෙක්‍ෂා ස්මෘති දෙකින් පිරිසිදුවීම් ඇති, චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම සංසිඳුනු ආශ්වාස, ප්‍රශ්වාස ඇත්තේ වේ.
“මහණෙනි, කෙසේ නම් මහණ තෙම විවේකයෙන් යුක්ත වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණහට ‘මම වෙමි මානය ප්‍රහීනවූයේ වේද, සිඳින ලද මුල් ඇත්තේද, අග සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේද, අභාවයට යවන ලද්දේද, මතු නූපදින තත්ත්‍වයට කරණ ලද්දේද,’ මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂු තෙම විවේකයෙන් යුක්තවූයේ වෙයි.
මහණෙනි, මෙයම සත්‍යයයි බැහැර කර ගත් භික්‍ෂුව මනාව හරණ ලද සියලු සෙවීම් ඇත්තේ, බර හරින ලද කාය සංස්කාර ඇත්තේ, එක්කෙනෙක් බවට පැමිණියේයයි කියනු ලැබේ.”
කාමෙසනා භවෙසනා බ්‍රහ්මචරියෙසනා යන එසනාවන් හා, මෙයම සත්‍යයයි ගත් දෘෂ්ටි පරාමාසයන් හා මානයන් වෙත්.
සියලු රාගයන්ගෙන් දුරුවූ, අර්හත් ඵල විමුක්තියෙන් යුක්තවූ, යමෙකු විසින් ඒ එසනා දුරුකරණ ලද්දාහුද, දෘෂ්ටි ස්ථානයන් උදුරා දමන ලද්දාහුද,
ඒකාන්තයෙන් ශාන්තවූ, සිහි ඇත්තාවූ, සංසිඳුනාවූ, නොපැරදවිය හැක්කාවූ, මානය දුරු කළාවූ, චතුස්සත්‍ය අවබෝධ කළාවූ මහණ තෙම විචේකයෙන් යුක්තවූයේය” යි කියනු ලැබේ.