4. 1. 3. 9.
ධම්මපද චතුක්ක සූත්‍රය
29. “මහණෙනි, අග්‍රයයි දතයුතු, පැරණිවූ වංශයයයි දතයුතුවූ, අළුත් දෙයක් නොවූ බැහැර නොකරත්ද, පෙර බුදුවරයන් විසිනුදු බැහැර නොකළාහුද, දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් බැහැර නොකරන්නාහුය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලද මේ ධර්‍ම කොට්ඨාස සතරක් වෙත්. කවර සතරක්ද යත්.
“මහණෙනි, අනභිද්‍යාව (අලෝභය) යන ධර්‍ම පදය අග්‍රයයි දත යුතුය. “පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.
“මහණෙනි, අව්‍යාපාද යන ධර්‍ම පදය අග්‍රයයි දත යුතුයි. “පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.
“මහණෙනි, සම්මාසති යන ධම්ම පදය අග්‍රයයි දත යුතුයි. “පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.
“මහණෙනි, සම්මා සමාධි යන ධර්‍ම පදය අග්‍රයයි දත යුතුයි. “පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.
“මහණෙනි, මේ ධර්‍ම පද සතර අග්‍රයයි දත යුත්තාහ. බොහෝ පැරණියයි දත යුත්තාහ. වංශයයි දතයුත්තාහ. අළුත් දෙයක් නොවේයයි දතයුත්තාහ. බැහැර නොකට යුත්තාහ. පෙරද අත් නොහරින ලදහ. දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් අත් නොහරින්නාහ. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.
“තෘෂ්ණා විරහිතව, ව්‍යාපාද රහිත සිතින් වාසය කරන්නේය. සිහි ඇත්තේ, අධ්‍යාත්මය යටපත්ව තැබූයේ එකඟ සිත් ඇත්තේ වන්නේය.”
4. 1. 3. 10.
සප්පීනියා තීර සූත්‍රය
30. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්‍වතයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි බොහෝ ප්‍රසිද්‍ධ ප්‍රසිද්‍ධ පරිබ්‍රාජකයෝ සප්පීනියා ගං ඉවුරෙහි පරිබ්‍රාජකාරාමයෙහි වාසය කරත්. ඒ කවරහුද? අන්තභාර පරිබ්‍රාජකයාද, වරධර පරිබ්‍රාජකයාද, සකුළුදායී පරිබ්‍රාජකයාද, අනිකුත් ප්‍රසිද්‍ධ ප්‍රසිද්‍ධ පරිබ්‍රාජකයෝද වෙත්,
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමවතින් නැඟී සිටි සේක්, සප්පීනියා තොට පරිබ්‍රාජකාරාමය යම් තැනෙක්හිද, එහි වැඩි සේක. වැඩ පණවන ලද අස්නෙහි වැඩහුන් සේක. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ, ඒ පරිබ්‍රාජකයන්ට මේ කරුණු වදාළ සේක.
“පරිබ්‍රාජකවරුනි, අග්‍රයයි දතයුතු, පැරණිවූ වංශයයයි දතයුතුවූ, අළුත් දෙයක් නොවූ බැහැර නොකරත්ද, පෙර බුදුවරයන් විසිනුදු බැහැර නොකළාහුද, දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් බැහැර නොකරන්නාහුය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලද මේ ධර්‍ම කොට්ඨාස සතරක් වෙත්. කවර සතරක්ද යත්.