4. 1. 1. 5.
[අනුසෝත සූත්‍රය]
5. “මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයන් සතර දෙනෙක් ඇත්තාහ. විද්‍යමාන වෙත්. ඒ කවර සතර දෙනෙක්ද යත්?
“කෙලෙස් ජල පහරට අනුව යන පුද්ගලයාය, කෙලෙස් ජල පහරේ උඩු අතට යන පුද්ගලයාය, කෙලෙස් ජල පහරෙහි නැවතී සිටින පුද්ගලයාය, කෙලෙස් ජල පහරින් එතෙරවූ, පරතෙරට ගිය නිවණ නමැති ගොඩ සිටි උතුම් පුද්ගලයාය යන සතර දෙනයි.
“මහණෙනි, ජල පාරට අනුව යන පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන් සේවනය කරයිද, පව්කම් රැස් කරයිද, මහණෙනි, මේ අනුසෝතගාමී පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, උඩු අතට යන යන පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන් නොසෙවුනේද, පව්කම් නොකරයිද, දුකින්, දොම්නසින්, කඳුළු පිරුණු මුහුණින් අඬමින් නමුත් පරිපූර්‍ණ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරේද, මහණෙනි, මේ උඩු අතට යන පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, නැවතී සිටින පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ඔරම්භාගීය සංයෝජන පස ක්‍ෂයවීමෙන් ඔපපාතික වේද, ඒ ලෝකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ එහිම පිරිනිවෙන්නේ වේද, මේ සිටියාවූ පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, කෙලෙස් ජල පහරින් එතරවූ, පරතෙරට ගිය, නිවණ නමැති ගොඩ සිටි උතුම් පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක්, ආශ්‍රවයන් ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත අර්‍හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද, මෙලොවම තෙමේ විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ කෙලෙස් ජල පහරින් එතරවූ, පරතෙරට ගිය, නිවණ නමැති ගොඩ සිටි, උතුම් පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත් යයි වදාළ සේක.
11. “මේ ලෝකයෙහි කාමයන්හි සංවරනුවූ, තෘෂ්ණාවට බැසගත්, යම්කිසි ජන කෙනෙක් වෙත්ද, කාම භෝගීවූ, නැවත, නැවත ඉපදීමට, ජරාවට බැස ගන්නාවූ ඔවුහු ශ්‍රොතයට අනුව යන්නාහුය.
12. එසේ හෙයින් මේ ලෝකයෙහි එළඹ සිටි සිහි ඇති ඤාණවන්ත තෙමේ කාමයන්ද, පාපයන්ද සේවනය නොකරන්නේ, දුකින් වුවත් කාමයන් අත්හරින්නේය. ඒ පුද්ගලයා පටිසෝතගාමීයයි කීහු.
13. යමෙක් ඒකාන්තයෙන් පිරිපුන් ශෙඛ වූයේද, නොපිරිහෙන ස්වභාව ඇත්තේද, චිත්ත වසියට පැමිණියේද, සංසුන් ඉඳුරන් ඇත්තේද, හෙතෙම ඒකාන්තයෙන් සිටි මනුෂ්‍යයා යයි කියනු ලැබේ.
14. යමෙකු විසින් කුශලාකුශල ධර්මයෝ සංසිඳුවා පිඹහරින ලද්දාහුද, විද්‍යමාන නොවෙත්ද, අස්තයට යවන ලද්දාහුද, ඥානයේ කෙළවරට ගිය, වැස නිමවන ලද මග බඹසර ඇති, ලෝකයේ කෙළවරට ගිය පුද්ගලයා පරතෙරට පැමිණියේයයි කියනු ලැබේ.”
4. 1. 1. 6.
6. අප්පස්සුත සූත්‍රය
6. “මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයන් සතර දෙනෙක් ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
“ශ්‍රුතයෙන් නූපන් අල්පශ්‍රුතයාය, ශ්‍රුතයෙන් උපන් අල්පශ්‍රුතයාය, ශ්‍රුතයෙන් නූපන් බහුශ්‍රුතයාය, ශ්‍රුතයෙන් උපන් බහුශ්‍රුතයාය යන සතර දෙනයි.
“මහණෙනි, ශ්‍රුතයෙන් නූපන් අල්පශ්‍රුතයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකු විසින් සූත්‍ර, ගෙය්‍ය, වෛය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන ධර්‍ම ස්වල්පයක් ඇසූයේ වේද, ස්වල්පයක් ඇසූ ඒ ධර්‍මයෙහි අර්ත්‍ථය නොදැන, ධර්‍මය නොදැන, ධර්‍මානුධර්‍මයෙහි නොයෙදුනේ වේද, මහණෙනි, මෙසේ වනාහි මේ පුද්ගලයා ශ්‍රුතයෙන් නූපන් අල්පශ්‍රුතයෙක් වේ.
“මහණෙනි, ශ්‍රුතයෙන් උපන් අල්පශ්‍රුත පුද්ගලයා කෙසේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකු විසින් සූත්‍ර, ගෙය්‍ය, වෛය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල සංඛ්‍යාත ධර්‍මය ස්වල්පයක් අසන ලද්දේද, හෙතෙම ස්වල්පයක් අසන ලද ඒ ධර්‍මයාගේ අර්ත්‍ථය දැන, ධර්‍මය දැන, ධර්‍මානුධර්‍මයෙහි පිළිපන්නේ වේද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගලයා ශ්‍රුතයෙන් උපන් අල්පශ්‍රුතයාවේ.
“මහණෙනි, කෙසේ වනාහි ශ්‍රුතයෙන් නූපන් බහුශ්‍රුතයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකු විසින් සූත්‍ර, ගෙය්‍ය, වෛය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන බොහෝ ධර්‍මයන් අසන ලද්දේ වේද, ඔහු බොහෝ අසන ලද ඒ ධර්‍මයාගේ අර්ත්‍ථය දැන, ධර්‍මය දැන, ධර්‍මානුධර්‍මයෙහි පිළිපන්නේ නොවේද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගලතෙම ශ්‍රුතයෙන් නූපන් බහුශ්‍රුතයා වේ.