4. 1. 1. 2.
[පපතිත සූත්‍රය]
[සැවැත් නුවර නිදානයයි]
2. “මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූ තැනැත්තේ මේ ධර්ම විනයෙන් චුතවූයේ වේ. කවර කරුණු සතරකින්ද යත්?
“මහණෙනි, ආර්‍ය්‍ය ශීලයෙන් යුක්ත නුවූයේ, මේ ධර්ම විනයෙන් චුතවූයේ වෙයි.
මහණෙනි, ආර්‍ය්‍ය සමාධියෙන් යුක්ත නුවූයේ, මේ ධර්ම විනයෙන් චුතවූයේ වෙයි.
මහණෙනි, ආර්‍ය්‍ය ප්‍රඥාවෙන් යුක්ත නුවූයේ, මේ ධර්ම විනයෙන් චුතවූයේ වෙයි.
මහණෙනි, ආර්‍ය්‍ය විමුක්තියෙන් (අර්හත් ඵලයෙන්) යුක්ත නුවූයේ, මේ ධර්ම විනයෙන් චුතවූයේ වෙයි.
“මහණෙනි, මේ ධර්ම සතරින් යුක්ත නුවූයේ මේ ධර්ම විනයෙන් වැටුනේය, චුතවූයේය” යි කියනු ලැබේ.
“මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූයේ මේ ධර්ම විනයෙන් නොවැටුනේ යයි කියනු ලැබේ. කවර සතර දෙනෙකුගෙන්ද යත්?
“මහණෙනි, ආර්‍ය්‍ය ශීලයෙන් යුක්ත වූයේ, මේ ධර්ම විනයෙන් නොවැටුනේ වෙයි.
මහණෙනි, ආර්‍ය්‍ය සමාධියෙන් යුක්ත වූයේ, මේ ධර්ම විනයෙන් නොවැටුනේ වෙයි.
මහණෙනි, ආර්‍ය්‍ය ප්‍රඥාවෙන් යුක්ත වූයේ, මේ ධර්ම විනයෙන් නොවැටුනේ වෙයි.
මහණෙනි, අර්හත් ඵලයෙන් යුක්ත වූයේ, මේ ධර්ම විනයෙන් නොවැටුනේ වෙයි.
“මහණෙනි, මේ ධර්ම සතරින් යුක්තවූයේ මේ ධර්ම විනයෙන් නොවැටුනේයයි කියනු ලැබේ.
3. “(යම් කෙනෙක්) චුතවූවාහුද, වැටුණාහුද, (ඔවුහු) වැටෙත්. රාගයෙහි ගිජුවූවාහු නැවත (දුකට) එන්නාහුය. කළයුත්ත කළාවූ, ඇලුම් කටයුතු ගුණයන්හි ඇලුනාහු සැපයෙන් සැපය ලද්දාහ.”
4. 1. 1. 3.
[පළමුවැනි ඛත සූත්‍රය]
3. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ, අව්‍යක්තවූ, අසත්පුරිසවූ බාලයා, සිඳින ලද, නසන ලද, ගුණ ඇති තමන් පරිහරණය කරයි. දොස් සහිත වූයේද වෙයි. නුවණැත්තන් විසින් කරණු ලබන උපවාද සහිත වෙයි. බොහෝ පවුද රැස් කරයි. කවර නම් කරුණු සතරකින්ද යත්,
“නොදැන, පරීක්‍ෂා නොකොට ගුණ නොකිව යුත්තාගේ ගුණ කියයි.
නොදැන, පරීක්‍ෂා නොකොට ගුණ කිවයුත්තාගේ අගුණ කියයි.
නොදැන, පරීක්‍ෂා නොකොට නොපැහැදියයුතු තැන පහදියි.
නොදැන, පරීක්‍ෂා නොකොට පැහැදියයුතු තැන නොපහදියි.
“මහණෙනි, මේ කරුණු සතරින් යුක්තවූ, අව්‍යක්තවූ, අසත්පුරිසවූ බාලයා, සිඳින ලද, නසන ලද, ගුණ ඇති තමන් පරිහරණය කරයි. දොස් සහිත වූයේද වෙයි. නුවණැත්තන් විසින් කරණු ලබන උපවාද සහිත වෙයි. බොහෝ පවුද රැස් කරයි.”
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ, පණ්ඩිතවූ, ව්‍යක්තවූ සත්පුරුෂයා, නොසිඳින ලද, නොනසන ලද, ගුණ ඇති තමන් පරිහරණය කරයි. දොස් රහිත වූයේද වෙයි. නුවණැත්තන් විසින් කරණු ලබන උපවාදද රහිත වෙයි. බොහෝ පින්ද රැස් කරයි. කවර කරුණු සතරකින්ද යත්?
“දැන, පරීක්‍ෂාකොට නුගුණ කිව යුත්තාගේ නුගුණ කියයි.
දැන, පරීක්‍ෂා කොට ගුණ කිවයුත්තාගේ ගුණ කියයි.
දැන, පරීක්‍ෂා කොට නොපැහැදියයුතු තැන නොපහදියි.
දැන, පරීක්‍ෂා කොට පැහැදියයුතු තැන පහදියි.