4. 1. 1. 10.
10. යොග විසංයොග සූත්රය
10. “මහණෙනි, මේ (සසරෙහි බඳින අර්ත්ථයෙන්) යෝගයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක්ද යත්? “කාමයෝගය, භවයෝගය, දිට්ඨියෝගය, අවිජ්ජායෝගය යන සතර දෙනයි.
“මහණෙනි, කාමයෝගය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් කාමයන්ගේ උත්පත්තියද, විනාශයද, මධුර භාවයද, දෝසයද, නික්මීමද තත්වූ පරිද්දෙන් නොදනීද, කාමයන්ගේ උත්පත්තියද, විනාශයද, මධුර භාවයද, දෝසයද, නික්මීමද තත්වූ පරිද්දෙන් නොදන්නාවූ ඔහුට කාමයන්හි යම් කාමරාගයක් ඇද්ද, කාම සතුටක් ඇද්ද, කාම ස්නේහයක් ඇද්ද, කාම මූර්ඡාවක් ඇද්ද, කාම පිපාසයක් ඇද්ද, කාම දැවිල්ලක් ඇද්ද, කාමයට බැස ගැන්මක් ඇද්ද, කාම තෘෂ්ණාවක් ඇද්ද, එය උපදී. මහණෙනි, මේ කාමයොගයයි කියනු ලැබේ. කාමයොගය මෙසේයි.
“භවයොගය කෙසේ වේද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් රූපාරූප භවයන්ගේ උත්පත්තියද, විනාශයද, මධුර භාවයද, දෝසයද, නික්මීමද තත්වූ පරිද්දෙන් නොදනීද, භවයන්ගේ උත්පත්තියද, විනාශයද, මධුර භාවයද, දෝසයද, නික්මීමද තත්වූ පරිද්දෙන් නොදක්නාවූ ඔහුට භවයන්හි යම් භවරාගයක් ඇද්ද, භව සතුටක් ඇද්ද, භව ස්නේහයක් ඇද්ද, භව මූර්ඡාවක් ඇද්ද, භව පිපාසයක් ඇද්ද, භව දැවිල්ලක් ඇද්ද, භවයට බැස ගැන්මක් ඇද්ද, භව තෘෂ්ණාවක් ඇද්ද, එය උපදී. මහණෙනි, මේ භවයොගයයි කියනු ලැබේ. කාමයොගය හා භවයොගය මෙසේයි.
“දෘෂ්ටියෝගය කෙසේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් දෘෂ්ටීන්ගේ උත්පත්තියද, විනාශයද, මධුර භාවයද, දෝෂයද, නික්මීමද තත්වූ පරිද්දෙන් නොදනීද, දෘෂ්ටීන්ගේ උත්පත්තියද, විනාශයද, මධුර භාවයද, දෝසයද, නික්මීමද තත්වූ පරිද්දෙන් නොදක්නාවූ ඔහුට දෘෂ්ටීන්හි යම් දෘෂ්ටිරාගයක් ඇද්ද, දෘෂ්ටි සතුටක් ඇද්ද, දෘෂ්ටි ස්නේහයක් ඇද්ද, දෘෂටි මූර්ඡාවක් ඇද්ද, දෘෂ්ටි පිපාසයක් ඇද්ද, දෘෂ්ටි දැවිල්ලක් ඇද්ද, දෘෂ්ටියට බැස ගැන්මක් ඇද්ද, දෘෂ්ටි තෘෂ්ණාවක් ඇද්ද, එය උපදී. මහණෙනි, මේ දෘෂ්ටියොගයයි. කාමයොගය, භවයොගය දෘෂ්ටියොගය මෙසේයි.
“අවිද්යා යොගය කෙසේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් සවැදෑරුම් චක්ෂුර්ස්පර්ශාදී කාරණයන්ගේ උත්පත්තියද, විනාශයද, මධුර භාවයද, දෝසයද, නික්මීමද තත්වූ පරිද්දෙන් නොදනීද, ඒ ස්පර්ශායතන සයදෙනාගේ උත්පත්තියද, විනාශයද, මධුර භාවයද, දෝසයද, නික්මීමද තත්වූ පරිද්දෙන් නොදක්නාහට ෂඩ්විද ස්පර්ශායතනයන් කෙරෙහි යම් නොදැනීමයයි කියන ලද අවිද්යාවක් ඇද්ද, එය උපදී. මහණෙනි, මේ අවිජ්ජා යොගයයි කියනු ලැබේ. කාමයොගය, භවයොගය, දිට්ඨියොගය, අවිජ්ජායොගය මෙසේයි.
“ක්ලෙශයන්ගෙන් යුක්තවූ, පුනර්භවය ඇතිකරන්නාවූ, කෙලෙස්දාහය සහිතවූ, දුක් විපාක ඇත්තාවූ, මත්තෙහි ජාති, ජරා, මරණ උපදවන්නාවූ ලාමක අකුසල ධර්මයන්ගෙන් යුක්තවූයේය. එහෙයින් යොගයන්ගෙන් නොමිදුණේයයි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර යෝගයෝයි.”
“මහණෙනි, මේ සසරෙහි නොබඳින අර්ත්ථයෙන් විසංයෝගයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක්ද යත්? “කාමයෝග විසංයොගය, භවයෝග විසංයොගය, දිට්ඨියෝග විසංයොගය, අවිජ්ජායෝග විසංයොගය, යන සතරයි.
“මහණෙනි, කාමයෝග විසංයෝගය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් කාමයන්ගේ උත්පත්ති යද, විනාශයද, මධුර භාවයද, දෝසයද, නික්මීමද තත්වූ පරිද්දෙන් දනීද, කාමයන්ගේ උත්පත්තියද, විනාශයද, මධුර භාවයද, දෝසයද, නික්මීමද තත්වූ පරිද්දෙන් දක්නාවූ ඔහුට කාමයන්හි යම් කාමරාගයක් ඇද්ද, කාම සතුටක් ඇද්ද, කාම ස්නේහයක් ඇද්ද, කාම මූර්ඡාවක් ඇද්ද, කාම පිපාසයක් ඇද්ද, කාම දැවිල්ලක් ඇද්ද, කාමයට බැස ගැන්මක් ඇද්ද, කාම තෘෂ්ණාවක් ඇද්ද, එය නූපදී. මහණෙනි, මේ කාමයොග විසංයොගයයි කියනු ලැබේ. කාමයොග විසංයොගය මෙසේයි.