2. භණ්ඩන ජාත සූත්‍රය
[සැවැත් නිදානය]
22. “මහණෙනි, යම් දිශාවෙක භික්‍ෂූහු හටගත් ඩබර ඇතිව, හටගත් කලහ ඇතිව, විවාදයට පැමිණ, ඔවුනොවුන් මුඛ නමැති ආයුධවලින් ඇන කොටා ගනිමින් වාසය කරද්ද, මහණෙනි, මා විසින් ඒ දිසාව මෙනෙහි කිරීමටවත් පහසු නොවේ. යාම ගැන කියනුම කිම? මෙහිදී ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු ධර්‍ම තුනක් අත් හළහ. ධර්‍ම තුනක් බහුල කළාහුයයි නිශ්චයට පැමිණෙමි.
“කිනම් ධර්‍ම තුනක් අත් හැරියාහුද? නෛෂ්ක්‍රම්‍ය විතර්‍කය, අව්‍යාපාද විතර්‍කය, අවිහිංසා විතර්‍කය යන මේ ධර්‍ම තුන අත් හළහ.
කවර ධර්‍ම තුනක් බහුල කළාහුද? කාම විතර්‍කය, ව්‍යාපාද විතර්‍කය, විහිංසා විතර්‍කය යන මේ ධර්‍ම තුන බහුල කළාහුය.
“මහණෙනි, යම් දිශාවෙක භික්‍ෂූහු හටගත් ඩබර ඇතිව, හටගත් කලහ ඇතිව, විවාදයට පැමිණ, ඔවුනොවුන් මුඛ නමැති ආයුධවලින් ඇන කොටා ගනිමින් වාසය කරද්ද, මහණෙනි, මා විසින් ඒ දිසාව මෙනෙහි කිරීමටවත් පහසු නොවේ. යාම ගැන කියනුම කිම? මෙහිදී ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු ධර්‍ම තුනක් අත් හළහ. ධර්‍ම තුනක් බහුල කළාහුයයි නිශ්චයට පැමිණෙමි.
“මහණෙනි, යම් දිශාවෙක භික්‍ෂූහු සමගිව, සතුටුවෙමින්, වාද නොකරමින්, කිරිත්, වතුරත් මෙන් එක්ව, ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වාසය කරද්ද, මහණෙනි, මා විසින් ඒ දිශාවට යාමටද පහසු වෙයි. මෙනෙහි කිරීම ගැන කියනුම කිම? ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු මේ ධර්‍ම තුන අත්හළහ, මේ ධර්‍ම තුන බහුල කළහයි නිශ්චයට පැමිණෙමි.
“කවර ධර්‍ම තුනක් අත්හළහුද? කාම විතර්‍කයද, ව්‍යාපාද විතර්‍කද, විහිංසා විතර්‍කයද යන මේ ධර්‍ම තුන දුරු කළහ.
කවර ධර්‍ම තුනක් බහුල කළාහුද? නෛශ්ක්‍රම්‍ය විතර්කයද, අව්‍යාපාද විතර්කයද, අවිහිංසා විතර්කයද යන මේ ධර්‍ම තුන බහුල කළහ.
“මහණෙනි, යම් දිශාවෙක භික්‍ෂූහු සමගිව, සතුටුවෙමින්, වාද නොකරමින්, කිරිත්, වතුරත් මෙන් එක්ව, ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වාසය කරද්ද, මහණෙනි, මා විසින් ඒ දිශාවට යාමටද පහසු වෙයි. මෙනෙහි කිරීම ගැන කියනුම කිම? ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු මේ ධර්‍ම තුන අත්හළහ, මේ ධර්‍ම තුන බහුල කළහයි නිශ්චයට පැමිණෙමි.
3. ගොතමක සූත්‍රය
[විශාලා නිදානය]
23. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා නුවර ගොතමක චෛත්‍යයෙහි වාසය කරයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක.
“මහණෙනි, මම ප්‍රත්‍යක්‍ෂකොට දැන ධර්‍මය දේශනා කරමි. ප්‍රත්‍යක්‍ෂ වශයෙන් නොදැන නොවේ. මහණෙනි, කරුණු සහිතව ධර්‍ම දේශනා කරමි. කරුණු රහිතව නොවේ. විරුද්ධ කරුණු දුරු කරමින්ම ධර්‍ම දේශනා කරමි. විරුද්ධ කරුණු දුරු නොකරමින් නොවේ.
මහණෙනි, ප්‍රත්‍යක්‍ෂ නොකොට නොව ප්‍රත්‍යක්‍ෂ කොටම දැන ධර්‍මය දේශනා කරන්නාවූ, කරුණු නැතුව නොව, කරුණු සහිතවම ධර්‍ම දේශනා කරන්නාවූ, විරුද්ධ කරුණු දුරු නොකොට නොව, විරුද්ධ කරුණු දුරු කොටම ධර්‍ම දේශනා කරන්නාවූ, මාගේ අවවාදය කළ යුතුය. මාගේ අනුශාසනය කළ යුතුය.
“මහණෙනි, තොපට තුටුවීමට සුදුසුය. සතුටු සිත් ඇතිවීමට සුදුසුය. සොම්නස් වීමට සුදුසුය. භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයහ. ධර්‍මය ස්වාක්ඛාතය. සංඝයා සුප්‍රතිපන්නය.”
“භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. ඒ භික්‍ෂූහු සතුටු සිත් ඇත්තාහු, භාග්‍යවතුන් වහන්සේ ගේ වචනයට සතුටුවූහ. මේ දේශනාව කරණ කල්හි දස දහසක් චක්‍රවාළ කම්පා විය.
4. භරණ්ඩුකාලාම සූත්‍රය
[කිඹුල්වත්පුර නිදානය]
24. “එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් රට චාරිකාවෙහි වඩිනා සේක් කිඹුල්වත්පුරයට වැඩි සේක. මහානාම ශාක්‍ය තෙමේ, භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩි සේකැයි ඇසීය. එකල්හි මහානාම ශාක්‍ය තෙමේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටි මහානාම ශාක්‍යයාහට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහානාමය, යම් තැනක අපි අද එක් රැයක් වාසය කරමුද, ඊට සුදුසු ආවාසයක් දැන ගනුව” කියායි. මහානාම ශාක්‍ය තෙමේ, “ස්වාමීනි, එසේය” යි භාග්‍යවතුන් වහන්සේ ට පිළිතුරු දී, කිඹුල්වත්පුරයට පැමිණ, මුළු කිඹුල්වත්පුරයෙහි ඇවිද, කිඹුල්වත්පුරයෙහි යම් තැනෙක භාග්‍යවතුන් වහන්සේ එක් රැයක් වාසය කරන්නේද, ඊට සුදුසු ආවාසයක් නුදුටුවේය.
“එකල්හි මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අද යම් තැනෙක එක් රැයක් වාසය කරන්නේද, ඊට සුදුසු ආවාසයක් නැත. ස්වාමීනි, මේ භාග්‍යවතුන් වහන්සේගේ පුරාණ, එකට විසූ ශ්‍රමණයෙක්වූ, භරංඩුකාලාම නම් ශ්‍රමණ තෙම ඇත්තේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ආශ්‍රමයෙහි එක් රැයක් වසන සේක්වා” යි කීය.