3. 3. 1. 8. චිත්ත ව්‍යාපාද සූත්‍රය
8. එක් පසෙකහුන් අනාථ පිණ්ඩික ගෘහපතිහට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “ගෘහපතිය, සිත දූෂ්‍යවූ කල්හි කායකර්මද දූෂ්‍යවූයේ වෙයි. වාක්කර්මද දූෂ්‍යවූයේ වෙයි. මනොකර්මද දූෂ්‍යවූයේ වෙයි. දූෂ්‍යවූ කායකර්ම ඇති, දූෂ්‍යවූ වාක්කර්ම ඇති, දූෂ්‍යවූ මනොකර්ම ඇති, ඔහුගේ මරණය යහපත් නොවේ. කාලක්‍රියාව යහපත් නොවේ.
“ගෘහපතිය, කුළුගෙය මනාව සෙවිලි නොකළ කල්හි මුදුනද දූෂ්‍ය වෙයි. පරාලද දූෂ්‍ය වෙත්. භික්තිද දූෂ්‍ය වෙත්. “එසේම ගෘහපතිය, සිත දූෂ්‍යවූ කල්හි කායකර්මද දූෂ්‍යවූයේ වෙයි. වාක්කර්මද දූෂ්‍යවූයේ වෙයි. මනොකර්මද දූෂ්‍යවූයේ වෙයි. දූෂ්‍යවූ කායකර්ම ඇති, දූෂ්‍යවූ වාක්කර්ම ඇති, දූෂ්‍යවූ මනොකර්ම ඇති, ඔහුගේ මරණය යහපත් නොවේ. කාලක්‍රියාව යහපත් නොවේ.
“ගෘහපතිය, සිත දූෂ්‍ය නොවූ කල්හි කායකර්මද දූෂ්‍ය නොවේ. වාක්කර්මද දූෂ්‍ය නොවේ. මනොකර්මද දූෂ්‍ය නොවේ. දූෂ්‍ය නොවූ කායකර්ම ඇති, දූෂ්‍ය නොවූ වාක්කර්ම ඇති, දූෂ්‍ය නොවූ මනොකර්ම ඇති, ඔහුගේ මරණය යහපත් වෙයි. කාලක්‍රියාව යහපත් වෙයි.
“ගෘහපතිය, කුළුගෙය මනාව සෙවිලි කළ කල්හි මුදුනද දූෂ්‍ය නොවෙයි. පරාලද දූෂ්‍ය නොවෙත්. භික්තිද දූෂ්‍ය නොවෙත්. “එසේම ගෘහපතිය, සිත දූෂ්‍ය නොවූ කල්හි කායකර්මද දූෂ්‍ය නොවේ. වාක්කර්මද දූෂ්‍ය නොවේ. මනොකර්මද දූෂ්‍ය නොවේ. දූෂ්‍ය නොවූ කායකර්ම ඇති, දූෂ්‍ය නොවූ වාක්කර්ම ඇති, දූෂ්‍ය නොවූ මනොකර්ම ඇති, ඔහුගේ මරණය යහපත් වෙයි. කාලක්‍රියාව යහපත් වෙයි.
3. 3. 1. 9. පඨම කම්ම නිදාන සූත්‍රය
9. “මහණෙනි, කර්මයන්ගේ රැස්වීමට හේතු තුනක් වෙත්. කවර තුනක්ද? ලෝභය කර්මයන්ගේ රැස්වීමට හේතුවකි. ද්වේෂය කර්මයන්ගේ රැස්වීමට හේතුවකි. මෝහය කර්මයන්ගේ රැස්වීමට හේතුවකි.
“මහණෙනි, ලෝභයෙන් කරනලද, ලෝභයෙන් උපන්, ලෝභය නිදානකොට ඇති, ලෝභය සමුදයකොට ඇති, යම් කර්මයක් වෙයිද, ඒ කර්මය අකුසලයකි. ඒ කර්මය වරදකි. ඒ කර්මය දුක් විපාක ඇත්තකි. ඒ කර්මය තවත් කර්මයන්ගේ රැස්කිරිම පිණිස පවතියි. ඒ කර්මය කර්ම නැති කිරීම පිණිස නොපවතියි.
“මහණෙනි, ද්වේෂයෙන් කරනලද, ද්වේෂයෙන් උපන්, ද්වේෂය නිදානකොට ඇති, ද්වේෂය සමුදයකොට ඇති, යම් කර්මයක් වෙයිද, ඒ කර්මය අකුසලයකි. ඒ කර්මය වරදකි. ඒ කර්මය දුක් විපාක ඇත්තකි. ඒ කර්මය තවත් කර්මයන්ගේ රැස්කිරිම පිණිස පවතියි. ඒ කර්මය කර්ම නැති කිරීම පිණිස නොපවතියි. “මහණෙනි, මෝහයෙන් කරනලද, මෝහයෙන් උපන්, මෝහය නිදානකොට ඇති, මෝහය සමුදයකොට ඇති, යම් කර්මයක් වෙයිද, ඒ කර්මය අකුසලයකි. ඒ කර්මය වරදකි. ඒ කර්මය දුක් විපාක ඇත්තකි. ඒ කර්මය තවත් කර්මයන්ගේ රැස්කිරිම පිණිස පවතියි. ඒ කර්මය කර්ම නැති කිරීම පිණිස නොපවතියි. මහණෙනි, මේ වනාහි කර්මයන්ගේ හටගැනීමට හේතු තුනයි.
“මහණෙනි, කර්මයන්ගේ රැස්වීම පිණිස හේතු තුනකි. කවර තුනක්ද? අලෝභය කර්මයන්ගේ රැස්වීම පිණිස හේතුවකි. අද්වේෂය කර්මයන්ගේ රැස්වීම පිණිස හේතුවකි. අමෝහය කර්මයන්ගේ රැස්වීම පිණිස හේතුවකි.
“මහණෙනි, අලෝභයෙන් කරනලද, අලෝභයෙන් උපන්, අලෝභය නිදානකොට ඇති, අලෝභය සමුදයකොට ඇති, යම් කර්මයක් වෙයිද, ඒ කර්මය කුසලයකි. ඒ කර්මය නිවරදකි. ඒ කර්මය සැප විපාක ඇත්තකි. ඒ කර්මය කර්ම නැතිකිරිම පිණිස පවතියි. ඒ කර්මය කර්ම රැස් කිරීම පිණිස නොපවතී.
“මහණෙනි, අද්වේෂයෙන් කරනලද, අද්වේෂයෙන් උපන්, අද්වේෂය නිදානකොට ඇති, අද්වේෂය සමුදයකොට ඇති, යම් කර්මයක් වෙයිද, ඒ කර්මය කුසලයකි. ඒ කර්මය නිවරදකි. ඒ කර්මය සැප විපාක ඇත්තකි. ඒ කර්මය කර්ම නැතිකිරිම පිණිස පවතියි. ඒ කර්මය කර්ම රැස් කිරීම පිණිස නොපවතී. “මහණෙනි, අමෝහයෙන් කරනලද, අමෝහයෙන් උපන්, අමෝහය නිදානකොට ඇති, අමෝහය සමුදයකොට ඇති, යම් කර්මයක් වෙයිද, ඒ කර්මය කුසලයකි. ඒ කර්මය නිවරදකි. ඒ කර්මය සැප විපාක ඇත්තකි. ඒ කර්මය කර්ම නැතිකිරිම පිණිස පවතියි. ඒ කර්මය කර්ම රැස් කිරීම පිණිස නොපවතී. මහණෙනි, මේ වනාහි කර්මයන්ගේ හටගැනීමට හේතු තුනයි.
3. 3. 1. 10. දුතිය කම්මනිදාන සූත්‍රය
10. “මහණෙනි, කර්ම රැස්කිරීම පිණිස හේතු තුනකි. කවර තුනක්ද? මහණෙනි, ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ, අතීත කරුණු පිළිබඳව ඡන්‍දරාගය උපදියි. ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ, අනාගත කරුණු පිළිබඳව ඡන්‍දරාගය උපදියි. ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ, වර්‍තමාන කරුණු පිළිබඳව ඡන්‍දරාගය උපදියි.
“මහණෙනි, කෙසේ නම් ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ අතීත කරුණු පිළිබඳව ඡන්‍ද රාගය උපදියිද? මහණෙනි, ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ අතීත කරුණු අරබයා සිතින් ඒ අනුව කල්පනා කරයි. ඒ අනුව සිත හසුරුවයි. ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ ඒ අතීත කරුණු අරබයා සිතින් ඒ අනුව කල්පනා කරන්නාවූ, ඒ අනුව සිත හසුරුවන්නාවූ ඔහුට ඡන්‍දය (ආසාව) උපදියි. උපන්නේ ඒ ධර්‍මයන් සමග බැඳුනේ වෙයි. මහණෙනි, චිත්තයාගේ යම් ඇලීමක් වෙයිද, එය මම සංයෝජන (රැහැණ) යයි කියමි. මහණෙනි, මෙසේ වනාහි ඡන්‍ද රාගය ඇතිවීමට හේතුවූ අතීත කරුණු පිළිබඳව ඡන්‍දය ඇතිවෙයි.