3. 2. 5. 9. ලොණ ඵල (හෝ) යථා කම්ම වෙදනීය සූත්රය
101. “මහණෙනි, යමෙක් ‘මේ පුරුෂ තෙමේ යම් යම් ආකාරයකින් කර්ම කෙරේද, ඒ කර්මය ඒ ඒ ආකාරයෙන් විපාක දෙන්නේය’ යි කියන්නේ නම් මහණෙනි, එසේ ඇති කල්හි මාර්ග බ්රහ්මචර්ය්යය වාසයක් නොවන්නේය. මනාව දුක් කෙළවර කිරීමට අවකාශයක් නොපෙනෙන්නේය..
“මහණෙනි, යමෙක් (දිට්ඨ ධම්ම වේදනීයාදී වශයෙන්) යම් යම් ආකාරයකින් විණද යුතුවූ කර්ම කෙරේද, ඒ කර්මයාගේ විපාක ඒ ඒ ආකාරයෙන් විඳින්නේයයි කියන්නේ නම් එසේ ඇති කල්හි මාර්ග බ්රහ්මචර්ය්ය වාසයක් ඇත්තේය. මනාව දුක් කෙළවර කිරිමට අවකාශයක් පෙනෙන්නේය.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු විසින් ස්වල්ප මාත්ර පාපයකුදු කරන ලද්දේද, ඒ පාප කර්මය ඔහු නිරයට පමුණුවයි. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු විසින් කරණ ලද එබඳුවූම ස්වල්ප මාත්ර පාපය මේ ආත්මයෙහිම විපාක දෙන කර්මයක් වේ. පරලොව ස්වල්ප විපාකයකුද්ර නොදෙයි. බොහෝ විපාක ගැන කියනුම කිම?
“මහණෙනි, කවර පුද්ගලයෙකු විසින් ස්වල්ප මාත්ර පාපයකුදු කරණ ලද්දේ නම්, ඒ පාප කර්මය ඔහු නිරයට පමුණුවයිද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නොවඩන ලද කය ඇත්තාවූද, නොවඩන ලද සිල් ඇත්තාවූද, නොවඩන ලද සිත් ඇත්තාවූද වෙයිද, නොවඩන ලද ප්රඥාව ඇත්තාවූද, ගුණයෙන් කුඩාවූද, ගුණ හීන කයක් ඇත්තාවූද, සුලු පවකද දුක් විඳින්නෙක් වේද, මහණෙනි, මෙබඳු පුද්ගලයා විසින් සුලු පවක් කරණ ලද්දේද, එය ඔහු නිරයට පමුණුවයි.
“මහණෙනි, කෙබඳුවූ පුද්ගලයකු විසින් කරණ ලද එබඳුවූ ස්වල්ප මාත්ර කර්මය මේ ආත්මයෙහි විපාක දෙන පරලොව බොහෝවූ විපාක තබා සුලු විපාකයකුදු නොදෙන කර්මයක් වේද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වඩනලද කය ඇති, වඩනලද සිල් ඇති, වඩන ලද සිත් ඇති, වඩනලද ප්රඥාව ඇති, ගුණයෙන් කුඩා නොවූ, ගුණ මහත්වයෙන් මහත්වූ, රහත් භික්ෂුවක් වෙයිද, මහණෙනි, එබඳු පුද්ගලයා විසින් කරණ ලද එබඳු ස්වල්ප කර්මය මේ ආත්මයෙහිම විපාක දෙන පරලොව බොහෝ විපාක තබා සුලු විපාකයකුදු නොදෙන කර්මයක් වෙයි.
“මහණෙනි, යම්සේ පුරුෂයෙක් කුඩා වතුර භාජනයකට ලුණු කැටයක් දමන්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? ඒ කුඩා දිය බඳුනෙහි ඒ ස්වල්ප ජලය ඒ ලුණු කැටයෙන් නොබිය හැකි ලුණු රස වන්නේද?
“ස්වාමීනි, එසේය.”
“ඊට හේතුව කවරේද?”
“ස්වාමීනි, ඒ දිය බඳුනෙහි ස්වල්ප ජලය ඒ ලුණු ඇටයෙන් නොබිය හැකි ලුණු රස වන්නේය.
“මහණෙනි, යම්සේ පුරුෂ තෙමේ ලුණු ඇටයක් ගංගා නම් ගඟෙහි දමන්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නෙහිද? ගංගානම් ගඟ ඒ ලුණු ඇටයෙන් නොබිය හැකි ලුණු රස වන්නේද?’
“ස්වාමීනි, එසේ නොවේමය.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, ඒ ගංගානම් ගඟෙහි මහා දිය කඳ ඒ ලුණු ඇටයෙන් ‘නොබිය හැකි ලුණු රස’ නොවන්නේය.”