3. 2. 4. 7. දුතිය සික්ඛාත්තය සූත්රය
37. “මහණෙනි, තමහට හිත කැමැත්තාවූ කුලපුත්රයෝ යම් ශීලයක්හි හික්මෙද්ද, අඩමසක් පාසා උදෙසීමට පැමිණෙන්නාවූ මේ ශීලය ශික්ෂාපද එක්සිය පණසක් වෙයි. මහණෙනි, ඒ සියලු ශික්ෂාපද ඇතුලත් වන්නාවූ මේ ශික්ෂා තුනක් වෙත්. කවර තුනක්ද? අධිශීල ශික්ෂාව, අධිවිත්ත ශික්ෂාව, අධිප්රඥා ශික්ෂාව යන මොහුය. මහණෙනි, මේ ත්රිශික්ෂාවෙහි ඒ සියලු ශික්ෂාපද ඇතුළත් වෙයි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සීලය සම්පූර්ණ කරන්නේ වෙයිද, සමාධිය ප්රමාණයකින් පුරන්නේ වෙයිද, ප්රඥාව ප්රමාණයකින් පුරන්නේ වෙයිද, හෙතෙම යම් කුඩා අනුකුඩා ශික්ෂාපද වෙත්ද, ඒ කුඩා අනුකුඩා ශික්ෂාපදයන්ගේ වරදට පැමිණෙන්නේද වෙයි. නැගිටින්නේ ද වෙයි. ඊට හේතු කවරේද? “මහණෙනි, මෙහි මාර්ගඵලයන්ට නුසුදුසු බවක් නොකියන ලදී. මාර්ග බ්රහ්මචර්ය්යාවට සුදුසුවූ, මාර්ගබ්රහ්මචර්ය්යාවට මුල්වූ, යම් ඒ ශික්ෂාපද කෙනෙක් වෙද්ද, එහි නිත්ය සිල් ඇත්තේ වෙයිද, පිහිටි සිල් ඇත්තේ වෙයිද, ශික්ෂාපදයන්හි සමාදන්ව හික්මෙයිද,
හෙතෙම සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් සත්තක්ඛත්තුපරමො (සත් වරක් කාම ලෝකයෙහි ඉපදීම සීමාකොට ඇති) සෝවාන් පුද්ගලයෙක්ව, සත් වරක් දෙව් ලොවද, මිනිස් ලොවද සැරිසරා දුක් කෙළවර කරන්නේය.
“හෙතෙම සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් කෝලා කෝල නම් සෝවාන් පුද්ගලයා වෙයි. භව දෙක තුනක සැරිසරා දුක් කෙළවර කරන්නේය.
“හෙතෙම සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් ඒකබීජී නම් සෝවාන් පුද්ගලයා වෙයි. මිනිසත් බවක්ම ලබා දුක් කෙළවර කරයි.
“හෙතෙම සංයෝජන තුනක් ක්ෂය කොට රාග, දෝෂ, මෝහයන් තුනී වීමෙන් සකෘදාගාමී වෙයි. එක් වරක්ම මේ කාම ලෝකයට පැමිණ දුක් කෙළවර කරයි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සීලය සම්පූර්ණ කරන්නේ වෙයිද, සමාධිය සම්පූර්ණ කරන්නේ වෙයිද, ප්රඥාව ප්රමාණයකින් පුරන්නේ වෙයිද, හෙතෙම යම් කුඩා, අනුකුඩා ශික්ෂාපද වෙත්ද, ඒ ශික්ෂාපදයන්ගේ වරදට පැමිණෙන්නේද වෙයි. නැගිටින්නේ ද වෙයි. ඊට හේතු කවරේද? “මහණෙනි, එය මාර්ග ඵලයන්ට නුසුදුසු බව නොකියන ලදී. මාර්ග බ්රහ්මචර්ය්යාවට යෝග්යවූ, මාර්ග බ්රහ්මචර්ය්යාවට මුල්වූ, යම් ශික්ෂාපද කෙනෙක් වෙද්ද, එහි නිත්ය සිල් ඇත්තේ වෙයිද, පිහිටි සිල් ඇත්තේ වෙයිද, ශික්ෂාපදයන්හි සමාදන්ව හික්මෙයිද,
හෙතෙම ඕරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් උද්ධං සෝත අකනිට්ඨගාමී නම් (සුද්ධාවාස භූමියෙහි ඉපිද පිළිවෙලින් අකනිටා බඹලොව දක්වා ගොස් අකනිටා බඹලොවදී පිරිනිවෙන) අනාගාමී පුද්ගලයා වෙයි.
“හෙතෙම ඕරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් සසංස්කාර පරිනිබ්බායී නම් (උත්සාහයෙන් රහත් බවට පැමිණෙන) අනාගාමී පුද්ගලයා වෙයි.
හෙතෙම ඕරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් අසංස්කාර පරිනිබ්බායී නම් (උත්සාහයක් නැතිව රහත් බවට පැමිණෙන) අනාගාමී පුද්ගලයා වෙයි.
“හෙතෙම ඕරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් උපහච්ච පරිනිබ්බායී නම් (අවිහාදියෙහි ඉපිද එහි ආයුෂයෙන් භාගයක් ඉක්මවා රහත්ව පිරිනිවෙන) අනාගාමී පුද්ගලයා වෙයි.
හෙතෙම ඕරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායී නම් (අවිහාදියෙහි ඉපිද ආයුෂ බාගයක් නොයික්මවා රහත්ව පිරිනිවෙන) අනාගාමී පුද්ගලයා වෙයි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සීලය සම්පූර්ණ කරන්නේ වෙයිද, සමාධිය සම්පූර්ණ කරන්නේ වෙයිද, ප්රඥාව සම්පූර්ණ කරන්නේ වෙයිද, හෙතෙම යම් කුඩා, අනුකුඩා ශික්ෂාපද වෙත්ද, ඒ ශික්ෂාපදයන්ගේ වරදට පැමිණෙන්නේද වෙයි. නැගිටින්නේ ද වෙයි. ඊට හේතු කවරේද? “මහණෙනි, එහි මාර්ග ඵලයන්ට නුසුදුසු බවක් නොකියන ලදී. මාර්ග බ්රහ්මචර්ය්යාවට සුදුසුවූ, මාර්ග බ්රහ්මචර්ය්යාවට මුල්වූ, යම් ශික්ෂාපද කෙනෙක් වෙද්ද, එහි නිත්ය සිල් ඇත්තේද වෙයි, පිහිටි සිල් ඇත්තේද වෙයි, ශික්ෂාපදයන්හි සමාදන්ව හික්මෙයි, හෙතෙම ආශ්රවයන් ක්ෂය කිරීමෙන් ආශ්රව රහිතවූ අර්හත්ඵල සමාධියත්, අර්හත්ඵල ප්රඥාවත් මේ ආත්මයෙහි තමාම විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කරයි.
“මහණෙනි, මෙසේ වනාහි කොටසක් සම්පූර්ණ කරන්නේ, කොටසක් ලබයි. සියල්ල සම්පූර්ණ කරන්නේ සියල්ල ලබයි. මහණෙනි, මෙසේ ශික්ෂාපද නොවඳයයි කියමි” යි වදාළ සේක.