3. 2. 4. 8. තෘතීය සික්ඛාත්තය සූත්‍රය
38. “මහණෙනි, තමහට හිත කැමැත්තාවූ කුලපුත්‍රයෝ යම් ශික්‍ෂාවෙක්හි හික්මෙද්ද, එබඳුවූ එක්සිය පනසක් ශික්‍ෂාපද අඩමසක් පාසා උදෙසීමට පැමිණෙයිද, මහණෙනි, ඒ සියලු ශික්‍ෂාපද ඇතුළත් වන්නාවූ මේ ශික්‍ෂා තුනක් වෙත්. කවර තුනක්ද? අධිශීල ශික්‍ෂාව, අධිචිත්ත ශික්‍ෂාව, අධිප්‍රඥා ශික්‍ෂාව යන මොහුයි. මහණෙනි, මේ ශික්‍ෂා තුනෙහි, ඒ සියලු ශික්‍ෂාපද ඇතුලත්වෙයි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සීලය සම්පූර්‍ණ කරන්නේ වෙයිද, සමාධිය සම්පූර්‍ණ කරන්නේ වෙයිද, ප්‍රඥාව සම්පූර්‍ණ කරන්නේ වෙයිද, හෙතෙම යම් ඒ කුඩා අනුකුඩා ශික්‍ෂාපද කෙනෙක් වෙත්ද, ඒ ශික්‍ෂාපදයන්ගෙන් වරදට පැමිණෙන්නේද වෙයි. නැගිටින්නේ ද වෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, එහි මාර්‍ග ඵලයන්ට නුසුදුසු බවක් නොකියන ලදී. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාවට සුදුසුවූ, මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූ, යම් ශික්‍ෂාපද කෙනෙක් වෙද්ද, එහි නිත්‍ය සිල් ඇත්තේද වෙයි, පිහිටි සිල් ඇත්තේද වෙයි, ශික්‍ෂාපදයන්හි සමාදන්ව හික්මෙයි, හෙතෙම ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අර්හත්ඵල සමාධියත්, අර්හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේම විශේෂ නුවණින් ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කරයි.
“ඊට නොපැමිණෙන්නේ, එය ප්‍රතිවේධ නොකරන්නේ, ඔරම්භාගීය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායී නම් පුද්ගලයා වෙයි.
“ඊට නොපැමිණෙන්නේ, එය ප්‍රතිවේධ නොකරන්නේ, ඔරම්භාගීය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් උපහච්ච පරිනිබ්බායී නම් අනාගාමී පුද්ගලයා වෙයි. -පෙ-
“ඊට නොපැමිණෙන්නේ, එය ප්‍රතිවේධ නොකරන්නේ, ඔරම්භාගීය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් අසංඛාර පරිනිබ්බායී නම් අනාගාමී පුද්ගලයා වෙයි. -පෙ- සසංස්කාර පරිනිබ්බායී නම් පුද්ගලයා වෙයි. -පෙ- උද්ධං සොත අකනිට්ඨාගාමී නම් අනාගාමී පුද්ගලයා වෙයි.
“ඊට නොපැමිණෙන්නේ, එය ප්‍රතිවේධ නොකරන්නේ, සංයෝජන තුනක් ක්‍ෂය කිරීමෙන් රාග දෝස බාගයක් තුනීවූ හෙයින් සකදාගාමී නම් වෙයි. වරක් මේ කාම ලෝකයට පැමිණ දුක් කෙළවර කරයි.
“ඊට නොපැමිණෙන්නේ, එය ප්‍රතිවේධ නොකරන්නේ, සංයෝජන තුනක් ක්‍ෂය කිරීමෙන් ඒකබීජී නම් සෝවාන් පුද්ගලයා වෙයි. මිනිසත් බවක්ම ලබා දුක් කෙළවර කරයි.
“ඊට නොපැමිණෙන්නේ, එය ප්‍රතිවේධ නොකරන්නේ, සංයෝජන තුනක් ක්‍ෂය කිරීමෙන් කෝලංකෝල නම් සෝවාන් පුද්ගලයා වෙයි. භව දෙක තුනක සැරිසරා දුක් කෙළවර කරයි.
“ඊට නොපැමිණෙන්නේ, එය ප්‍රතිවේධ නොකරන්නේ, සංයෝජන තුනක් ක්‍ෂය කිරීමෙන් සත්තක්ඛත්තු පරම නම් සෝතාපන්නයා වෙයි. සත් වරක් දෙව් ලොවද, මිනිස් ලොවද සැරිසරා දුක් කෙළවර කරයි.
“මහණෙනි, මෙසේ වනාහි සම්පූර්‍ණ කරන්නේ, සම්පූර්‍ණයෙන් ලබයි. කොටසක් පුරන්නේ කොටසක් ලබයි.
“මහණෙනි, මෙසේ වනාහි ශික්‍ෂාපද නොවඳයයි කියමි.”
3. 2. 4. 9. චතුත්‍ථ සික්ඛත්තය සූත්‍රය
39. “මහණෙනි, මේ ශික්‍ෂා තුණෙකි. කවර තුනක්ද? අධිශීල ශික්ෂාවද, අධිචිත්ත ශික්ෂාවද, අධිප්‍රඥා ශික්ෂාවද වෙයි.
“මහණෙනි, අධිශීල ශික්ෂාව කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සිල් ඇත්තේ වෙයිද, ප්‍රාතිමොක්‍ෂ සංවර සීලයෙන් සංවරව, ආචාර ගෝචර දෙකින් සමන්විතව, කුඩා වරදෙහි පවා භය දක්නා සුලුව, ශික්‍ෂාපදයන්හි දැඩිව ගෙන හික්මෙයිද, මහණෙනි, මෙය අධිශීල ශික්‍ෂාවයයි කියනු ලැබේ.
“මහණෙනි, අධිචිත්ත ශික්‍ෂාව කවරේද? මහණෙනි, මෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන්වම, අකුසලයන්ගෙන් වෙන්වම, ..., චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මෙය අධිචිත්ත ශික්‍ෂාවයයි කියනු ලැබේ.
“මහණෙනි, අධිප්‍රඥා ශික්‍ෂාව නම් කවරේද? මහණෙනි, මෙහි මහණ තෙම මෙය දුකයයි තත්වූ පරිදි දනීද, මේ තෘෂ්ණාව දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනී. මේ නිවණ දුක් නැතිවන තැනයයි තත්වූ පරිද්දෙන් දනී. මෙය දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාවයයි තත්වූ පරිදි දනීද, මහණෙනි, මෙය අධි ප්‍රඥා ශික්‍ෂාවයයි කියනු ලැබේ.
“මහණෙනි, මේ වනාහි ත්‍රි ශික්‍ෂාව වෙයි.”
3. 2. 4. 10. පඤ්චම සික්ඛත්තය සූත්‍රය
40. “මහණෙනි, මේ ශික්‍ෂා තුණෙකි. කවර තුනක්ද? අධිශීල ශික්ෂාවද, අධිචිත්ත ශික්ෂාවද, අධිප්‍රඥා ශික්ෂාවද වෙයි.
“මහණෙනි, අධිශීල ශික්ෂාව කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සිල් ඇත්තේ වෙයිද, ප්‍රාතිමොක්‍ෂ සංවර සීලයෙන් සංවරව, ආචාර ගෝචර දෙකින් සමන්විතව, කුඩා වරදෙහි පවා භය දක්නා සුලුව, ශික්‍ෂාපදයන්හි දැඩිව ගෙන හික්මෙයිද, මහණෙනි, මෙය අධිශීල ශික්‍ෂාවයයි කියනු ලැබේ.
“මහණෙනි, අධිචිත්ත ශික්‍ෂාව කවරේද? මහණෙනි, මෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන්වම, අකුසලයන්ගෙන් වෙන්වම, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මෙය අධිචිත්ත ශික්‍ෂාවයයි කියනු ලැබේ.
“මහණෙනි, අධිප්‍රඥා ශික්‍ෂාව කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන්, ආශ්‍රව රහිත අර්හත්ඵල සමාධියත්, අර්හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තමා විශේෂ ප්‍රඥාවෙන් දැන, ඊට පැමිණ වාසය කරහිද, මහණෙනි, මෙය අධි ප්‍රඥා ශික්‍ෂාවයයි කියනු ලැබේ.
“මහණෙනි, මේ ශික්‍ෂා තුන වෙති.”
39. “දැඩි වීර්‍ය්‍ය ඇත්තාවූද, ප්‍රඥා ඇත්තාවූද, ධ්‍යාන වඩන්නාවූද, සිහි ඇත්තාවූද, රක්නාලද ඉන්‍ද්‍රිය ඇත්තාවූද, වීර්‍ය්‍යවත් පුද්ගල තෙමේ, අධිශීල ශික්‍ෂා, අධිචිත්ත ශික්‍ෂා, අධිප්‍රඥා ශික්‍ෂා යන ශික්‍ෂාත්‍රයෙහි හැසිරෙන්නේය.
40. “පළමු යම් සේද, පසුවද එසේ, පසුව යම් සේද, පළමුව එසේ, යටි කයෙහි යම් සේද, උඩු කයෙහිත් එසේ, උඩු කයෙහි යම් සේද, යටි කයෙහිත් එසේ,
41. “දවල් යම් සේද, රාත්‍රියෙහිත් එසේ, රාත්‍රියෙහි යම් සේද, දවල්ද එසේ, අර්හත් මාර්‍ග සමාධියෙන් සියලු දිශාවන්හි ආරම්මණයන් මැඩ පවත්වා හැසිරෙන්නේය.