3. 2. 4. 6. සික්ඛාත්තය සූත්රය
36. “මහණෙනි, තමහට හිත කැමැත්තාවූ කුලපුත්රයෝ යම් ශික්ෂාවෙක්හි හික්මෙද්ද, එබඳුවූ එක්සිය පනසක් ශික්ෂාපද අඩමසක් පාසා උදෙසීමට පැමිණෙයිද, මහණෙනි, ඒ සියලු ශික්ෂාපද ඇතුළත් වන්නාවූ මේ ශික්ෂා තුනක් වෙත්. කවර තුනක්ද? අධිශීල ශික්ෂාව, අධිචිත්ත ශික්ෂාව, අධිප්රඥා ශික්ෂාව යන මොහුයි. මහණෙනි, මේ ශික්ෂා තුනෙහි, ඒ සියලු ශික්ෂාපද ඇතුලත්වෙයි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ශීලය සම්පූර්ණ කරන්නේ වේද, සමාධිය එක්තරා ප්රමාණයකින් කරන්නේ වේද, ප්රඥාව එක්තරා ප්රමාණයකින් කරන්නේ වේද, හෙතෙම යම් කුඩා, අනුකුඩා ශික්ෂාපද වෙයිද, ඒ ශික්ෂාපදයන්ගේ වරදට පැමිණෙන්නේද වෙයි. වරදින් නැගී සිටින්නේද වෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, මෙහි මාර්ග ඵලයන්ට නුසුදුසු බව නොකියන ලදී. මහණෙනි, මාර්ග බ්රහ්මචර්ය්යාවට සුදුසුවූ, මාර්ග බ්රහ්මචර්ය්යාවට මුල්වූ, යම් ඒ ශික්ෂාපද කෙනෙක් වෙත්ද, එහි නිත්ය සිල් ඇත්තේ වෙයිද, පිහිටි සිල් ඇත්තේ වෙයිද, ශික්ෂා පදයන්හි සමාදන්ව හික්මෙයිද, හෙතෙම සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ, මාර්ග නියාමයෙන් නියතවූ, මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ, සෝවාන්වූවෙක් වෙයි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ශීලය සම්පූර්ණ කරන්නේ වේද, සමාධිය එක්තරා ප්රමාණයකින් කරන්නේ වේද, ප්රඥාව එක්තරා ප්රමාණයකින් කරන්නේ වේද, හෙතෙම යම් කුඩා, අනුකුඩා ශික්ෂාපද වෙයිද, ඒ ශික්ෂාපදයන්ගේ වරදට පැමිණෙන්නේද වෙයි. වරදින් නැගී සිටින්නේද වෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, මේ කාරණයෙහි මාර්ග ඵලයන්ට නුසුදුසු බව නොකියන ලදී. මාර්ග බ්රහ්මචර්ය්යාවට යෝගයවූ, මාර්ග බ්රහ්මචර්ය්යාවට මුල්වූ, යම් ශික්ෂාපද කෙනෙක් වෙත්ද, එහි නිත්ය සිල් ඇත්තේ වෙයිද, පිහිටි සිල් ඇත්තේ වෙයිද, ශික්ෂාපදයන්හි සමාදන්ව හික්මෙයිද, හෙතෙම තුන් සංයෝජනයන් ක්ෂය කිරීමෙන්, රාග, ද්වේෂ. මෝහයන් තුනීවූ හෙයින් සකදාගාමී නම් වෙයි. මේ කාම ලෝකයට එක් වරක්ම අවුත් දුක් කෙළවර කරයි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සීලය සම්පූර්ණ කරන්නේ වෙයිද, සමාධිය සම්පූර්ණ කරන්නේ වෙයිද, ප්රඥාව ප්රමාණයකින් සම්පූර්ණ කරන්නේ වෙයිද, හෙතෙම යම් කුඩා, අනුකුඩා ශික්ෂාපද වෙත්ද, ඒ ශික්ෂාපදයන්ගෙන් වරදට පැමිණෙන්නේද වෙයි. නැගිටින්නේද වෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, මේ කාරණයෙහි මාර්ග ඵලයන්ට නුසුදුසු බව නොකියන ලදී. මාර්ගබ්රහ්මචර්ය්යාවට සුදුසුවූ, මාර්ගබ්රහ්මචර්ය්යාවට මුල්වූ, යම් ශික්ෂාපද කෙනෙක් වෙත්ද, එහි නිත්ය සිල් ඇත්තේ වෙයි. පිහිටි සිල් ඇත්තේ වෙයි. ශික්ෂාපදයන්හි සමාදන්ව හික්මෙයි. හෙතෙම ඕරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බඹලොව ඕපපාතිකයෙක් වෙයි. ඒ බඹලොවින් ආපසු නොඑන ස්වභාවය ඇත්තාවූ, එහිම පිරිනිවෙන්නෙක් වෙයි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සීලය සම්පූර්ණ කරන්නේ වෙයිද, සමාධිය සම්පූර්ණ කරන්නේ වෙයිද, ප්රඥාව සම්පූර්ණ කරන්නේ වෙයිද, හෙතෙම යම් කුඩා අනුකුඩා ශික්ෂාපද වෙත්ද, ඒ ශික්ෂාපදයන්ගෙන් වරදට පැමිණෙන්නේද වෙයි. නැගිටින්නේද වෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, එහි මාර්ගඵල ලැබීමට නුසුදුසු බව නොකියන ලදී. මාර්ගබ්රහ්මචර්ය්යාවට යෝග්යවූ, මාර්ගබ්රහ්මචර්ය්යාවට මුල්වූ යම් ශික්ෂාපද කෙනෙක් වෙත්ද, ඒ ශික්ෂාපදයන්හි නිත්ය සිල් ඇත්තේ වෙයිද, පිහිටි සිල් ඇත්තේ වෙයිද, ශික්ෂාපදයන්හි සමාදන්ව හික්මෙයිද, හෙතෙම ආශ්රවයන් ක්ෂය කිරීමෙන් ආශ්රව රහිතවූ අර්හත්ඵල සමාධියත්, අර්හත්ඵල ප්රඥාවත්, මේ ආත්මයෙහිම, තෙමේ විශේෂ ඥානයෙන් අවබෝධකොට ඊට පැමිණ වාසය කරයි.
“මහණෙනි, මෙසේ වනාහි කොටසක් පුරන්නාවූ පුද්ගලයා කොටසක් ලබයි. සම්පූර්ණකොට පුරන්නාවූ පුද්ගලයා සම්පූර්ණයෙන් ලබයි. මහණෙනි, මේ ශික්ෂාපදයෝ මෙසේ වඳ නොවන්නාහුයයි කියම්” යි වදාළ සේක.
3. 2. 4. 7. දුතිය සික්ඛාත්තය සූත්රය
37. “මහණෙනි, තමහට හිත කැමැත්තාවූ කුලපුත්රයෝ යම් ශීලයක්හි හික්මෙද්ද, අඩමසක් පාසා උදෙසීමට පැමිණෙන්නාවූ මේ ශීලය ශික්ෂාපද එක්සිය පණසක් වෙයි. මහණෙනි, ඒ සියලු ශික්ෂාපද ඇතුලත් වන්නාවූ මේ ශික්ෂා තුනක් වෙත්. කවර තුනක්ද? අධිශීල ශික්ෂාව, අධිවිත්ත ශික්ෂාව, අධිප්රඥා ශික්ෂාව යන මොහුය. මහණෙනි, මේ ත්රිශික්ෂාවෙහි ඒ සියලු ශික්ෂාපද ඇතුළත් වෙයි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සීලය සම්පූර්ණ කරන්නේ වෙයිද, සමාධිය ප්රමාණයකින් පුරන්නේ වෙයිද, ප්රඥාව ප්රමාණයකින් පුරන්නේ වෙයිද, හෙතෙම යම් කුඩා අනුකුඩා ශික්ෂාපද වෙත්ද, ඒ කුඩා අනුකුඩා ශික්ෂාපදයන්ගේ වරදට පැමිණෙන්නේද වෙයි. නැගිටින්නේ ද වෙයි. ඊට හේතු කවරේද? “මහණෙනි, මෙහි මාර්ගඵලයන්ට නුසුදුසු බවක් නොකියන ලදී. මාර්ග බ්රහ්මචර්ය්යාවට සුදුසුවූ, මාර්ගබ්රහ්මචර්ය්යාවට මුල්වූ, යම් ඒ ශික්ෂාපද කෙනෙක් වෙද්ද, එහි නිත්ය සිල් ඇත්තේ වෙයිද, පිහිටි සිල් ඇත්තේ වෙයිද, ශික්ෂාපදයන්හි සමාදන්ව හික්මෙයිද,
හෙතෙම සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් සත්තක්ඛත්තුපරමො (සත් වරක් කාම ලෝකයෙහි ඉපදීම සීමාකොට ඇති) සෝවාන් පුද්ගලයෙක්ව, සත් වරක් දෙව් ලොවද, මිනිස් ලොවද සැරිසරා දුක් කෙළවර කරන්නේය.