3. 2. 4. 3. පුබ්බකරණීය සූත්‍රය
33. “මහණෙනි, ගෘහපති ගොවියා විසින් පළමුව කළයුතු වැඩ තුනකි. කවර තුනක්ද යත්? මහණෙනි, ගෘහපති ගොවිතෙම පළමුකොටම කෙත මනාව සාන ලද්දේ, මනාකොට සමකරන ලද්දේ වෙයි. පළමුකොටම සා, සමකොට, සුද්‍රසු කාලයෙහි බීජ වපුරන්නේ වෙයි. සුදුසු කාලයෙහි බීජ වපුරා, සුදුසු කාලයෙහි වතුර බඳින්නේද, වතුර හරින්නේ ද වෙයි. මහණෙනි, මේ ගෘහපති ගොවියා විසින් පළමුවම කළයුතු වැඩ තුන වෙත්.
“මහණෙනි, එමෙන් භික්‍ෂුව විසින් පළමුව කළයුතුවූ මේ වැඩ තුන වෙත්. කවර තුනක්ද? අධිශීල ශික්‍ෂා සමාදානය, අධිවිත්ත ශික්‍ෂා සමාදානය, අධිප්‍රඥා ශික්‍ෂා සමාදානය යන මොහුයි. මහණෙනි, මේ භික්‍ෂුව විසින් පළමුව කටයුතු වැඩ තුන වෙත්.
“මහණෙනි, එහෙයින් ‘අධිශීල ශික්‍ෂා සමාදානයෙහි අපගේ දැඩි කැමැත්ත වන්නේය. අධිචිත්ත ශික්‍ෂා සමාදානයෙහි අපගේ බලවත් කැමැත්ත වන්නේය. අධිප්‍රඥා ශික්‍ෂා සමාදානයෙහි අපගේ බලවත් කැමැත්ත වන්නේය.’ යි මෙසේ හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය.”
3. 2. 4. 4. වජ්ජිපුත්තක සූත්‍රය
[විශාලා මහනුවර නිදානයි]
34. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ විශාලා නුවර මහවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක. එසමයෙහි එක්තරා වජ්ජි පුත්තක භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ඒ වජ්ජිපුත්තක භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, අඩ මසක් පාසා එක්සිය පනසක් ශික්‍ෂාපද උදෙසීමට පැමිණෙයිද, ස්වාමීනි, මම මේ ශික්‍ෂාපද සමූහයෙහි හික්මීමට නොහැක්කෙමි”
“මහණ, ඔබට අධිශීල ශික්‍ෂාව, අධිචිත්ත ශික්‍ෂාව, අධිප්‍රඥා ශික්‍ෂාව යන මේ ත්‍රි ශීලයෙහි හික්මිය හැකිද?”
“ස්වාමීනි, මම අධිශීල ශික්‍ෂාව, අධිචිත්ත ශික්‍ෂාව, අධිප්‍රඥා ශික්‍ෂාව යන ත්‍රි ශික්‍ෂාවෙහි හික්මීමට හැකි වෙමි” යි කීය.
“මහණ, එසේ නම් ඔබ අධිශීල ශික්‍ෂාව, අධිචිත්ත ශික්‍ෂාව, අධිප්‍රඥා ශික්‍ෂාව යන ත්‍රි ශික්‍ෂාවෙහි හික්මෙව. මහණ, යම් කලෙක පටන් ඔබ අධිශීලයෙහිද හික්මෙන්නෙහි නම්, අධිචිත්තයෙහිද හික්මෙන්නෙහි නම්, අධිප්‍රඥාවෙහිද හික්මෙන්නෙහි නම්, අධිශීලයෙහිද හික්මෙන්නාවූ, අධිචිත්තයෙහිද හික්මෙන්නාවූ, අධිප්‍රඥාවෙහිද හික්මෙන්නාවූ, ඔබගේ රාගය පහවන්නේය. ද්වේෂය පහවන්නේය. මෝහය පහවන්නේය. ඒ ඔබ රාගය පහවීමෙන්, ද්වේෂය පහවීමෙන්, මෝහය පහවීමෙන්, යමක් අකුසල්ද, එය නොකරන්නෙහිය. යමක් පාපයද, එය සේවනය නොකරන්නෙහිය.” යි වදාළ සේක.
“ඉක්බිති, ඒ භික්‍ෂුව පසුකාලයෙහි අධිශීලයෙහිද හික්මුණේය, අධිචිත්තයෙහිද හික්මුණේය, අධිප්‍රඥාවෙහිද හික්මුණේය, අධිශීලයෙහි හික්මුණාවූද, අධිචිත්තයෙහි හික්මුණාවූද, අධිප්‍රඥාවෙහි හික්මුණාවූද, ඔහුගේ රාගය පහවිය. ද්වේෂය පහවිය. මෝහය පහවිය. හෙතෙම රාගය පහවීම හේතුකොටගෙන, ද්වේෂය පහවීම හේතුකොටගෙන, මෝහය පහවීම හේතුකොටගෙන, යමක් අකුසල්නම්, එය නොකෙළේය. යමක් පවුනම් එය සේවනය නොකෙළේය.”
3. 2. 4. 5. සෙඛපඤ්හ සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
35. එකල්හි එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන් ඒ භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, ශෛක්‍ෂ, ශෛක්‍ෂ යයි කියනු ලැබේ. කෙතෙකින් ශෛක්‍ෂයෙක් වේද?” යනුයි.