3. 2. 4. 4. වජ්ජිපුත්තක සූත්රය
[විශාලා මහනුවර නිදානයි]
34. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්යවතුන් වහන්සේ විශාලා නුවර මහවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක. එසමයෙහි එක්තරා වජ්ජි පුත්තක භික්ෂුවක් භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ඒ වජ්ජිපුත්තක භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, අඩ මසක් පාසා එක්සිය පනසක් ශික්ෂාපද උදෙසීමට පැමිණෙයිද, ස්වාමීනි, මම මේ ශික්ෂාපද සමූහයෙහි හික්මීමට නොහැක්කෙමි”
“මහණ, ඔබට අධිශීල ශික්ෂාව, අධිචිත්ත ශික්ෂාව, අධිප්රඥා ශික්ෂාව යන මේ ත්රි ශීලයෙහි හික්මිය හැකිද?”
“ස්වාමීනි, මම අධිශීල ශික්ෂාව, අධිචිත්ත ශික්ෂාව, අධිප්රඥා ශික්ෂාව යන ත්රි ශික්ෂාවෙහි හික්මීමට හැකි වෙමි” යි කීය.
“මහණ, එසේ නම් ඔබ අධිශීල ශික්ෂාව, අධිචිත්ත ශික්ෂාව, අධිප්රඥා ශික්ෂාව යන ත්රි ශික්ෂාවෙහි හික්මෙව. මහණ, යම් කලෙක පටන් ඔබ අධිශීලයෙහිද හික්මෙන්නෙහි නම්, අධිචිත්තයෙහිද හික්මෙන්නෙහි නම්, අධිප්රඥාවෙහිද හික්මෙන්නෙහි නම්, අධිශීලයෙහිද හික්මෙන්නාවූ, අධිචිත්තයෙහිද හික්මෙන්නාවූ, අධිප්රඥාවෙහිද හික්මෙන්නාවූ, ඔබගේ රාගය පහවන්නේය. ද්වේෂය පහවන්නේය. මෝහය පහවන්නේය. ඒ ඔබ රාගය පහවීමෙන්, ද්වේෂය පහවීමෙන්, මෝහය පහවීමෙන්, යමක් අකුසල්ද, එය නොකරන්නෙහිය. යමක් පාපයද, එය සේවනය නොකරන්නෙහිය.” යි වදාළ සේක.
“ඉක්බිති, ඒ භික්ෂුව පසුකාලයෙහි අධිශීලයෙහිද හික්මුණේය, අධිචිත්තයෙහිද හික්මුණේය, අධිප්රඥාවෙහිද හික්මුණේය, අධිශීලයෙහි හික්මුණාවූද, අධිචිත්තයෙහි හික්මුණාවූද, අධිප්රඥාවෙහි හික්මුණාවූද, ඔහුගේ රාගය පහවිය. ද්වේෂය පහවිය. මෝහය පහවිය. හෙතෙම රාගය පහවීම හේතුකොටගෙන, ද්වේෂය පහවීම හේතුකොටගෙන, මෝහය පහවීම හේතුකොටගෙන, යමක් අකුසල්නම්, එය නොකෙළේය. යමක් පවුනම් එය සේවනය නොකෙළේය.”
3. 2. 4. 5. සෙඛපඤ්හ සූත්රය
[සැවැත් නුවර නිදානයි]
35. එකල්හි එක්තරා භික්ෂුවක් භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන් ඒ භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, ශෛක්ෂ, ශෛක්ෂ යයි කියනු ලැබේ. කෙතෙකින් ශෛක්ෂයෙක් වේද?” යනුයි.
“මහණ, හික්මෙයි යන අර්ථයෙන් ශෛක්ෂයයි කියනු ලැබේ. කිමෙක හික්මෙයිද? අධිශීලයෙහිද හික්මෙයි. අධිචිත්තයෙහිද හික්මෙයි. අධිප්රඥාවෙහිද හික්මෙයි. මහණ, හික්මෙයි, හික්මෙයි යන අර්ථයෙන් ශෛක්ෂයයි කියනු ලැබේය” යි වදාළසේක.
37. ආර්ය්ය මාර්ගයෙහි පිළිපන්නාවූ, ත්රි ශික්ෂාවෙහි හික්මෙන්නාවූ, ශෛක්ෂයාහට ක්ලේශයන් ක්ෂය කරන්නාවූ මාර්ගය හා යෙදුණාවූ පළමුවැනි ඥානය උපදී. ඉක්බිති සතරවැනි මාර්ග ඥානයට අනතුරුව අර්හත් ඵලය උපදී.
38. ඉක්බිති අර්හත්ඵල විමුක්තියෙන් මිදුණාවූ, තාදී ගුණයෙන් යුත් ක්ෂීණාශ්රවයාහට භව සංයෝජනයන් ක්ෂය කිරීමෙහි මාගේ අර්හත්ඵල විමුක්තිය කම්පා නොවන්නීය යන ප්රත්යවෙක්ෂා ඥානය වෙයි.
3. 2. 4. 6. සික්ඛාත්තය සූත්රය
36. “මහණෙනි, තමහට හිත කැමැත්තාවූ කුලපුත්රයෝ යම් ශික්ෂාවෙක්හි හික්මෙද්ද, එබඳුවූ එක්සිය පනසක් ශික්ෂාපද අඩමසක් පාසා උදෙසීමට පැමිණෙයිද, මහණෙනි, ඒ සියලු ශික්ෂාපද ඇතුළත් වන්නාවූ මේ ශික්ෂා තුනක් වෙත්. කවර තුනක්ද? අධිශීල ශික්ෂාව, අධිචිත්ත ශික්ෂාව, අධිප්රඥා ශික්ෂාව යන මොහුයි. මහණෙනි, මේ ශික්ෂා තුනෙහි, ඒ සියලු ශික්ෂාපද ඇතුලත්වෙයි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ශීලය සම්පූර්ණ කරන්නේ වේද, සමාධිය එක්තරා ප්රමාණයකින් කරන්නේ වේද, ප්රඥාව එක්තරා ප්රමාණයකින් කරන්නේ වේද, හෙතෙම යම් කුඩා, අනුකුඩා ශික්ෂාපද වෙයිද, ඒ ශික්ෂාපදයන්ගේ වරදට පැමිණෙන්නේද වෙයි. වරදින් නැගී සිටින්නේද වෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, මෙහි මාර්ග ඵලයන්ට නුසුදුසු බව නොකියන ලදී. මහණෙනි, මාර්ග බ්රහ්මචර්ය්යාවට සුදුසුවූ, මාර්ග බ්රහ්මචර්ය්යාවට මුල්වූ, යම් ඒ ශික්ෂාපද කෙනෙක් වෙත්ද, එහි නිත්ය සිල් ඇත්තේ වෙයිද, පිහිටි සිල් ඇත්තේ වෙයිද, ශික්ෂා පදයන්හි සමාදන්ව හික්මෙයිද, හෙතෙම සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ, මාර්ග නියාමයෙන් නියතවූ, මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ, සෝවාන්වූවෙක් වෙයි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ශීලය සම්පූර්ණ කරන්නේ වේද, සමාධිය එක්තරා ප්රමාණයකින් කරන්නේ වේද, ප්රඥාව එක්තරා ප්රමාණයකින් කරන්නේ වේද, හෙතෙම යම් කුඩා, අනුකුඩා ශික්ෂාපද වෙයිද, ඒ ශික්ෂාපදයන්ගේ වරදට පැමිණෙන්නේද වෙයි. වරදින් නැගී සිටින්නේද වෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, මේ කාරණයෙහි මාර්ග ඵලයන්ට නුසුදුසු බව නොකියන ලදී. මාර්ග බ්රහ්මචර්ය්යාවට යෝගයවූ, මාර්ග බ්රහ්මචර්ය්යාවට මුල්වූ, යම් ශික්ෂාපද කෙනෙක් වෙත්ද, එහි නිත්ය සිල් ඇත්තේ වෙයිද, පිහිටි සිල් ඇත්තේ වෙයිද, ශික්ෂාපදයන්හි සමාදන්ව හික්මෙයිද, හෙතෙම තුන් සංයෝජනයන් ක්ෂය කිරීමෙන්, රාග, ද්වේෂ. මෝහයන් තුනීවූ හෙයින් සකදාගාමී නම් වෙයි. මේ කාම ලෝකයට එක් වරක්ම අවුත් දුක් කෙළවර කරයි.