3. 2. 4. 11. පඞ්කධා සූත්‍රය
[කොසල නිදානයයි]
41. “එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් රට මහත් භික්‍ෂු සංඝයා හා සමග චාරිකාවෙහි වඩිනුයේ පඞ්කධා නම් කොසොල් රට වාසීන්ගේ නියම්ගම යම් තැනෙක්හිද, එහි වැඩියහ. එතල්හි භාග්‍යවතුන් වහන්සේ පඞ්කධා නම් කොසොල් රට වාසීන්ගේ නියම්ගමෙහි වාසය කරත්.
එකල්හි කස්සපගොත්ත නම් මහණ තෙමේ ආවාස අලුත්වැඩියා කිරීමෙහි යෙදී වාසය කරයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට දැහැමි කථාවකින් කරුණු ඉදිරිපත්කොට දක්වන සේක. සමාදන් කරවන සේක. උත්සාහවත් කරවන සේක. සිත් පහදවන සේක.
එකල්හි කස්සපගොත්ත භික්‍ෂුවට ශික්‍ෂාපදයන්ගෙන් යුත් දැහැමි කථාවකින් භික්‍ෂූන්ට කරුණු දක්වන්නාවූ සමාදන් කරවන්නාවූ, උත්සාහවත් කරවන්නාවූ, සිත් තියුණු කරවන්නාවූ, සිත් පහදවන්නාවූ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි, ‘මේ ශ්‍රමණ තෙමේ පමණ ඉක්මවා හාර හාරා කරුණු කියන්නේය’ යි නොඉවසීමක්, නොසතුටක් උපන.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමතිතාක් පඞ්කධා නියම්ගමෙහි වාසයකොට, රජගහනුවර යම් තැනෙක්හිද, එහි චාරිකාවෙහි වැඩියහ. පිළිවෙලින් චාරිකාවෙහි වඩින සේක්, රජගහනුවර යම් තැනෙක්හිද, එහි පැමිනියහ. පැමිණ, රාජගහේ ගිජ්ඣකූට පර්‍වතයෙහි වාසය කළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින්, කස්සපගොත්ත භික්‍ෂූහුට මෙවැනි සිතක් ඇතිවිය. “ශික්‍ෂාපදයන්ගෙන් යුත් දැහැමි කථාවකින් භික්‍ෂූන්ට කරුණු දක්වන්නාවූ, සමාදන් කරවන්නාවූ, උත්සාහවත් කරවන්නාවූ, සිත් පහදවන්නාවූ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි, ‘මේ ශ්‍රමණ තෙමේ පමණ ඉක්මවා හාර හාරා කරුණු දක්වන්නේය’ යි මාහට නොඉවසීමක්, නොසතුටක් පහළවිය. එය මට අලාභයකි. ඒකාන්තයෙන් එය මට ලාභයක් නොවේ. මා විසින් නපුරුව ලබන ලද්දකි. යහපත්කොට ලබන ලද්දක් නොවේය’ යි පසුතැවීමක්, විපිළිසර බවක් ඇතිවිය.
‘මම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණෙන්නෙම් නම් පැමිණ, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි වරද, වරද වශයෙන් ප්‍රකාශ කරන්නෙම් නම් යහපතැ’ යි සිතීය.
“ඉක්බිති කස්සපගොත්ත භික්‍ෂු තෙම සෙනසුන තැන්පත්කොට තබා, පාත්‍ර සිවුරුගෙන, රජගහනුවර යම් තැනෙක්හිද, ගිජ්ඣකූට පර්‍වතය යම් තැනෙක්හිද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හිඳ ගත්තේය. එක්පසෙක හිඳගත් කස්සපගොත්ත භික්‍ෂු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, එක් අවස්ථාවෙක භාග්‍යවතුන් වහන්සේ පඞ්කධා නම් කෙසොල් රට වාසීන්ගේ නියම්ගමෙහි වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපදයන්ගෙන් යුත් දැහැමි කථාවෙන් භික්‍ෂූන්ට කරුණු දක්වන සේක. සමාදන් කරවන සේක. උත්සාහ කරවන සේක. සිත් පහදවන සේක. ස්වාමීනි, ඒ මට භික්‍ෂූන්ට කරුණු දක්වන්නාවූ, සමාදන් කරවන්නාවූ, උත්සාහවත් කරවන්නාවූ, සිත් පහදවන්නාවූ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි, ‘මේ ශ්‍රමණ තෙම පමණ ඉක්මවා හාර හාරා කියන්නේය’ යි නොඉවසීමක්, නොසතුටු බවක් පහළවිය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පඞ්කධා නියම්ගමෙහි කැමතිතාක් වාසය කොට, රජගහනුවර යම් තැනෙක්හිද, එහි චාරිකාවෙහි වැඩි සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් මට පසුතැවීමක්, විපිළිසර බවක් ඇතිවිය. ශික්‍ෂාපදයන්ගෙන් යුත් ධර්‍ම කථාවෙන් භික්‍ෂූන්ට කරුණු දක්වන්නාවූ, සමාදන් කරවන්නාවූ, උත්සාහවත් කරවන්නාවූ, සිත් පහදවන්නාවූ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි, ‘මේ ශ්‍රමණ තෙමේ පමණ ඉක්මවා හාර හාරා කියන්නේය’ යි නොඉවසීමක්, නොසතුටු බවක් පහළවිය. එය මට අලාභයකි. ලාභයක් නොවේ. මා විසින් නපුරු ලැබීමක් ලබන ලදී. යහපත් ලැබීමක් නොලබන ලදී. මම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණෙම් නම්, පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි වරද වරද වශයෙන් ප්‍රකාශ කරන්නෙම් නම් යහපතැයි අදහස්වීය” යි කීය.
“ස්වාමීනි, ශික්‍ෂාපදයන්ගෙන් යුත් ධර්‍ම කථාවෙන් භික්‍ෂූන්ට කරුණු දක්වන්නාවූ, සමාදන් කරවන්නාවූ, උත්සාහවත් කරවන්නාවූ, සිත් පහදවන්නාවූ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි, ‘මේ ශ්‍රමණ තෙමේ පමණ ඉක්මවා හාර හාරා කියන්නේය’ යි නොඉවසීමෙන්, නොසතුට පහළකිරීමෙන් බාලයකු මෙන්, මෝඩයතු මෙන්, අදක්‍ෂයකු මෙන් අපරාධය තෙම මා ඉක්මවා ගියේය. ස්වාමීනි, භාග්‍යවතන් වහන්සේ මත්තෙහි සංවරය පිණිස ඒ මාගේ අපරාධය පිළිගන්නා සේක්වා” යි කීය.
“කස්සපය, ශික්‍ෂාපදයන්ගෙන් යුත් ධර්‍ම කථාවකින් භික්‍ෂූන්ට කරුණු දක්වන්නාවූ, සමාදන් කරවන්නාවූ, උත්සාහවත් කරවන්නාවූ, සිත් පහදවන්නාවූ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි, ‘මේ ශ්‍රමණ තෙමේ පමණ ඉක්මවා හාර හාරා කියන්නේය’ යි නොඉවසීමෙන්, නොසතුට පහළකිරීමෙන් අපරාධය තෙමේ බාලයකු සේ, මෝඩයතු සේ, අදක්‍ෂයකුසේ ඒකාන්තයෙන් තා ඉක්ම ගියේය.
“කස්සපය, යම් කලෙක පටන් තෝ වරද, වරද වශයෙන් දැක, ධර්‍මයවූ පරිද පිළියම් කෙරෙහි නම් අපි තාගේ වරද පිළිගනිමු. කස්සපය, යමෙක් වරද, වරද වශයෙන් දැක, ධර්‍මයවූ පරිදි පිළියම් කෙරේ නම්, මත්තෙහි සංවරයට පැමිණේ නම්, එය ආර්‍ය්‍ය විනයෙහි අභිවෘද්ධිය වෙයි.
“කස්සපය, ස්ථවිරවූ භික්‍ෂුවක් නමුත් ශික්‍ෂාකාමී නොවේද, ශික්‍ෂාපද පිරීමෙහි ගුණ නොකියන්නේ වේද, ශික්‍ෂාකාමී නොවූ යම් අන්‍ය භික්‍ෂූහු වෙත් නම් ඔවුන් ශික්‍ෂා සම්පූර්‍ණ කිරීමෙහි නොයොදවන්නේ වෙයිද, ශික්‍ෂාකාමීවූ යම් අන්‍ය භික්‍ෂූහු වෙත් නම්, සුදුසු කාලයෙහි ඔවුන්ගේ ඇති විද්‍යමාන ගුණ ප්‍රකාශ නොකෙරේ නම්, කස්සපය, මම එවැනි ස්ථවිර භික්‍ෂුවකගේ ගුණ නොකියමි.