3. 2. 4. 10. පඤ්චම සික්ඛත්තය සූත්රය
40. “මහණෙනි, මේ ශික්ෂා තුණෙකි. කවර තුනක්ද? අධිශීල ශික්ෂාවද, අධිචිත්ත ශික්ෂාවද, අධිප්රඥා ශික්ෂාවද වෙයි.
“මහණෙනි, අධිශීල ශික්ෂාව කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සිල් ඇත්තේ වෙයිද, ප්රාතිමොක්ෂ සංවර සීලයෙන් සංවරව, ආචාර ගෝචර දෙකින් සමන්විතව, කුඩා වරදෙහි පවා භය දක්නා සුලුව, ශික්ෂාපදයන්හි දැඩිව ගෙන හික්මෙයිද, මහණෙනි, මෙය අධිශීල ශික්ෂාවයයි කියනු ලැබේ.
“මහණෙනි, අධිචිත්ත ශික්ෂාව කවරේද? මහණෙනි, මෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන්වම, අකුසලයන්ගෙන් වෙන්වම, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්රීතිය හා සැපය ඇති, චතුර්ථ ධ්යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මෙය අධිචිත්ත ශික්ෂාවයයි කියනු ලැබේ.
“මහණෙනි, අධිප්රඥා ශික්ෂාව කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ආශ්රවයන් ක්ෂය කිරීමෙන්, ආශ්රව රහිත අර්හත්ඵල සමාධියත්, අර්හත්ඵල ප්රඥාවත් මේ ආත්මයෙහිම තමා විශේෂ ප්රඥාවෙන් දැන, ඊට පැමිණ වාසය කරහිද, මහණෙනි, මෙය අධි ප්රඥා ශික්ෂාවයයි කියනු ලැබේ.
“මහණෙනි, මේ ශික්ෂා තුන වෙති.”
39. “දැඩි වීර්ය්ය ඇත්තාවූද, ප්රඥා ඇත්තාවූද, ධ්යාන වඩන්නාවූද, සිහි ඇත්තාවූද, රක්නාලද ඉන්ද්රිය ඇත්තාවූද, වීර්ය්යවත් පුද්ගල තෙමේ, අධිශීල ශික්ෂා, අධිචිත්ත ශික්ෂා, අධිප්රඥා ශික්ෂා යන ශික්ෂාත්රයෙහි හැසිරෙන්නේය.
40. “පළමු යම් සේද, පසුවද එසේ, පසුව යම් සේද, පළමුව එසේ, යටි කයෙහි යම් සේද, උඩු කයෙහිත් එසේ, උඩු කයෙහි යම් සේද, යටි කයෙහිත් එසේ,
41. “දවල් යම් සේද, රාත්රියෙහිත් එසේ, රාත්රියෙහි යම් සේද, දවල්ද එසේ, අර්හත් මාර්ග සමාධියෙන් සියලු දිශාවන්හි ආරම්මණයන් මැඩ පවත්වා හැසිරෙන්නේය.
42. “ඔහු ශෛක්ෂ (හික්මෙන්නෙක්) යයිද, පිළිපන්නෙකැයිද, පිරිසිදු සිල් ඇත්තෙකැයිද, ලෝකයෙහි චතුස්සත්යය අවබෝධ කළ කෙනෙකැයිද, වීර්ය්ය ඇත්තෙකැයිද, ප්රතිපත්තියේ කෙළවරට පැමිණියෙකැයිද කියත්.”
43. “තෘෂ්ණා ක්ෂය විමුක්තියයයි කියන ලද අර්හත්ඵල විමුක්තියෙන් යුක්තවූවහුගේ අවසාන විඤ්ඤාණය නිරුද්ධවීමෙන් ප්රදීපයාගේ නිවීම මෙන් චිත්තයාගේ මිදීම වන්නේය.”
3. 2. 4. 11. පඞ්කධා සූත්රය
[කොසල නිදානයයි]
41. “එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ කොසොල් රට මහත් භික්ෂු සංඝයා හා සමග චාරිකාවෙහි වඩිනුයේ පඞ්කධා නම් කොසොල් රට වාසීන්ගේ නියම්ගම යම් තැනෙක්හිද, එහි වැඩියහ. එතල්හි භාග්යවතුන් වහන්සේ පඞ්කධා නම් කොසොල් රට වාසීන්ගේ නියම්ගමෙහි වාසය කරත්.
එකල්හි කස්සපගොත්ත නම් මහණ තෙමේ ආවාස අලුත්වැඩියා කිරීමෙහි යෙදී වාසය කරයි. එකල්හි භාග්යවතුන් වහන්සේ භික්ෂූන්ට දැහැමි කථාවකින් කරුණු ඉදිරිපත්කොට දක්වන සේක. සමාදන් කරවන සේක. උත්සාහවත් කරවන සේක. සිත් පහදවන සේක.
එකල්හි කස්සපගොත්ත භික්ෂුවට ශික්ෂාපදයන්ගෙන් යුත් දැහැමි කථාවකින් භික්ෂූන්ට කරුණු දක්වන්නාවූ සමාදන් කරවන්නාවූ, උත්සාහවත් කරවන්නාවූ, සිත් තියුණු කරවන්නාවූ, සිත් පහදවන්නාවූ, භාග්යවතුන් වහන්සේ කෙරෙහි, ‘මේ ශ්රමණ තෙමේ පමණ ඉක්මවා හාර හාරා කරුණු කියන්නේය’ යි නොඉවසීමක්, නොසතුටක් උපන.
“ඉක්බිති භාග්යවතුන් වහන්සේ කැමතිතාක් පඞ්කධා නියම්ගමෙහි වාසයකොට, රජගහනුවර යම් තැනෙක්හිද, එහි චාරිකාවෙහි වැඩියහ. පිළිවෙලින් චාරිකාවෙහි වඩින සේක්, රජගහනුවර යම් තැනෙක්හිද, එහි පැමිනියහ. පැමිණ, රාජගහේ ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කළ සේක. ඉක්බිති භාග්යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින්, කස්සපගොත්ත භික්ෂූහුට මෙවැනි සිතක් ඇතිවිය. “ශික්ෂාපදයන්ගෙන් යුත් දැහැමි කථාවකින් භික්ෂූන්ට කරුණු දක්වන්නාවූ, සමාදන් කරවන්නාවූ, උත්සාහවත් කරවන්නාවූ, සිත් පහදවන්නාවූ, භාග්යවතුන් වහන්සේ කෙරෙහි, ‘මේ ශ්රමණ තෙමේ පමණ ඉක්මවා හාර හාරා කරුණු දක්වන්නේය’ යි මාහට නොඉවසීමක්, නොසතුටක් පහළවිය. එය මට අලාභයකි. ඒකාන්තයෙන් එය මට ලාභයක් නොවේ. මා විසින් නපුරුව ලබන ලද්දකි. යහපත්කොට ලබන ලද්දක් නොවේය’ යි පසුතැවීමක්, විපිළිසර බවක් ඇතිවිය.
‘මම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණෙන්නෙම් නම් පැමිණ, භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහි වරද, වරද වශයෙන් ප්රකාශ කරන්නෙම් නම් යහපතැ’ යි සිතීය.
“ඉක්බිති කස්සපගොත්ත භික්ෂු තෙම සෙනසුන තැන්පත්කොට තබා, පාත්ර සිවුරුගෙන, රජගහනුවර යම් තැනෙක්හිද, ගිජ්ඣකූට පර්වතය යම් තැනෙක්හිද, භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හිඳ ගත්තේය. එක්පසෙක හිඳගත් කස්සපගොත්ත භික්ෂු තෙම භාග්යවතුන් වහන්සේට මෙසේ කීය.