9. ගන්ධජාත සූත්රය
80. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේය.
“ස්වාමීනි, යමෙකුන්ගේ සුවඳ යටි සුලඟටම හමයිද, උඩු සුලඟට නොහමයිද, එබඳු සුවඳ වර්ග තුනක් වෙත්.
“කවර තුනක්ද? මුල් වර්ගවල සුවඳ, අරටු වර්ගවල සුවඳ, මල් සුවඳ යන මේයි. ඉමානි ඛො භන්තෙ, තීණි ගන්ධජාතානි, යෙසං අනුවාතඤ්ඤෙව ගන්ධො ගච්ඡති, නො පටිවාතං.
“ස්වාමීනි, යම් කෙනෙකුන්ගේ සුවඳ යටි සුලඟටත් හමයිද, උඩු සුලඟටත් හමයිද, යටි සුලඟ උඩු සුලඟටත් හමයිද, එබඳු සුවඳ වර්ගයක් ඇත්තේද?” යනුයි.
“ආනන්දය, යම් කෙනෙකුන්ගේ සුවඳ යටි සුලඟටත් හමයිද, උඩු සුලඟටත් හමයිද, යටි සුලඟ, උඩු සුලඟ යන දෙකටමත් හමයිද, එබඳු සුවඳ වර්ගයක් ඇත්තේය.”
“ස්වාමීනි, යම් කෙනෙකුන්ගේ සුවඳ යටි සුලඟටත් හමයිද, උඩු සුලඟටත් හමයිද, යටි සුලඟ උඩු සුලඟ දෙකටමත් හමයිද, ඒ සුවඳ කුමක්ද?”
“ආනන්දය, යම් ගමෙක හෝ නියම් ගමෙක හෝ, ස්ත්රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන් සරණ ගියේ වේද, ධර්මය සරණ ගියේ වේද, සංඝයා සරණ ගියේ වේද, ප්රාණඝාතයෙන් වැළකුණේ වෙයිද, සොරකමින් වැළකුණේ වෙයිද, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයිද, බොරු කීමෙන් වැළකුණේ වෙයිද, මත් වීමට හා ප්රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වෙයිද, සිල්වත් වේද, යහපත් ධර්ම ඇත්තේ වෙයිද, ත්යාගවත්ව, දීමට පිරිසිදු කළ අත් ඇතිව, දීමෙහි යෙදුනෙක්ව, බෙදා දීමෙහි ඇලුණෙක්ව, දුරුකළ මසුරු මල ඇති සිතින් ගිහිගෙයි වාසය කරයිද, අට දිශාවන්හි ශ්රමණ බ්රාහ්මණයෝ ඔහුගේ ගුණ ප්රකාශ කරත් : අසවල් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ ස්ත්රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන් සරණ ගියේ වේද, ධර්මය සරණ ගියේ වේද, සංඝයා සරණ ගියේ වේද, ප්රාණඝාතයෙන් වැළකුණේ වෙයිද, සොරකමින් වැළකුණේ වෙයිද, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයිද, බොරු කීමෙන් වැළකුණේ වෙයිද, මත් වීමට හා ප්රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වෙයිද, සිල්වත් වේද, යහපත් ධර්ම ඇත්තේ වෙයිද, ත්යාගවත්ව, දීමට පිරිසිදු කළ අත් ඇතිව, දීමෙහි යෙදුනෙක්ව, බෙදා දීමෙහි ඇලුණෙක්ව, දුරුකළ මසුරු මල ඇති සිතින් ගිහිගෙයි වාසය කරයි කියායි.”
“අමනුෂ්යවූ දේවතාවෝද, ඔහුගේ ගුණ කියත් : අසවල් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ ස්ත්රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන් සරණ ගියේ වේද, ධර්මය සරණ ගියේ වේද, සංඝයා සරණ ගියේ වේද, ප්රාණඝාතයෙන් වැළකුණේ වෙයිද, සොරකමින් වැළකුණේ වෙයිද, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයිද, බොරු කීමෙන් වැළකුණේ වෙයිද, මත් වීමට හා ප්රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වෙයිද, සිල්වත් වේද, යහපත් ධර්ම ඇත්තේ වෙයිද, ත්යාගවත්ව, දීමට පිරිසිදු කළ අත් ඇතිව, දීමෙහි යෙදුනෙක්ව, බෙදා දීමෙහි ඇලුණෙක්ව, දුරුකළ මසුරු මල ඇති සිතින් ගිහිගෙයි වාසය කරයි කියායි.”
“ආනන්දය, යමක්හුගේ සුවඳ යටි සුලඟටත් හමයිද, උඩු සුලඟටත් හමයිද, යටි සුලඟ, උඩු සුලඟ යන දෙකටමත් හමයිද, ඒ මේ සුවඳ වර්ගය වෙයි.”
“දෑ සමන් ආදී මල් සුවඳද, සඳුන්, තවරලා, බොලිද්ද මල් සුවඳද, උඩු සුලඟට නොහමයි. සත්පුරුෂයන්ගේ සුවඳ උඩු සුලඟටද හමන්නේය. සත් පුරුෂ තෙම සියලු දිශාවන්හි සුවඳ පතුරුවන්නේය.”