3. 2. 1. 6. අධම්මරාග සූත්‍රය
6. ඉක්බිති වනාහි එක්තරා මහාසාර බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ මහාසාර බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්ස, පෙර කාලයෙහිවූ, වයෝවෘද්‍ධවූ, මහලුවූ, ඇදුරන්ගේ ඇදුරුවූ කියන්නාවූ බමුණන් වෙතින් මා විසින් මෙය අසන ලදී. (කුමක්ද යත්) පෙර කාලයෙහි මේ ලෝකය අවීචිය මෙන් මිනිසුන්ගෙන් පිරුණේ වෙයි. ගම් නියම්ගම් රාජධානීහු පියස්සෙන් පියස්සට යා හැකි තරම් ගෙවලින් ගහණ වෙත් කියායි. “භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් මිනිසුන්ගේ ක්‍ෂයවීම වේද, තුනී බව පෙනේද, ගමුත් නොගම් වෙත්ද, නියම්ගමුත් නියම්ගම් නොවෙත්ද, නුවරවලුත් නගර නොවෙත්ද, ජනපදයෝත් ජනපද නොවෙත්ද, ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍ය කවරේදැ” යි ඇසීය.
“බමුණ, මේ කාලයෙහි මනුෂ්‍යයෝ අන්සතු දෙයෙහි ඇලීමයයි කියනලද අධර්‍ම රාගයෙන් ඇලුනාහු, විෂම ලෝභයෙන් මඩනා ලද්දාහු, නොනිසි වස්තූන්හි ඇලීමයයි කියනලද මිථ්‍යා ධර්‍මයෙන් යුක්තවූවාහු වෙත්. අධර්‍ම රාගයෙන් ඇළුණාවූ, විෂම ලෝභයෙන් මඩනා ලද්දාවූ, මිත්‍යා ධර්‍මයෙන් යුක්තවූ ඔවුහු තියුණුවූ ආයුධ ගෙණ එකිනෙකා ජීවිතයෙන් තොර කෙරෙත්. ඒ කරණ කොට ගෙණ බොහෝ මනුෂ්‍යයෝ මැරෙත්. “බමුණ, යම් හෙයකින් මිනිසුන්ගේ ක්‍ෂයවීම වේද, තුනී බව පෙනේද, ගමුත් නොගම් වෙත්ද, නියම්ගමුත් නියම්ගම් නොවෙත්ද, නුවරවලුත් නගර නොවෙත්ද, ජනපදයෝත් ජනපද නොවෙත්ද, මේ වනාහි ඊට හේතුවයි. මේ ඊට ප්‍රත්‍යයයි.
බමුණ, නැවත අනිකක්ද කියමි. දැන් මනුෂ්‍යයෝ අධර්‍ම රාගයෙන් ඇළුණාහු, විෂම ලෝභයෙන් මඩනා ලද්දාහු, මිත්‍යා ධර්මයෙන් යුක්තවූවාහු වෙත්. මේ කාලයෙහි මනුෂ්‍යයෝ අන්සතු දෙයෙහි ඇලීමයයි කියනලද මිත්‍යා ධර්‍මයෙන් යුක්තවූවාහු වෙත්. අධර්‍ම රාගයෙන් ඇලුනාහු, විෂම ලෝභයෙන් මඩනා ලද්දාහු, නොනිසි වස්තූන්හි ඇලීමයයි කියනලද මිත්‍යා ධර්මයෙන් යුක්තවූවාහු වෙත්. අධර්‍ම රාගයෙන් ඇළුණාවූ, විෂම ලෝභයෙන් මඩනා ලද්දාවූ, මිත්‍යා ධර්‍මයෙන් යුක්තවූ ඔවුන්ට වර්‍ෂාව මනාකොට නොවසියි. ඒ හේතුකොට ගෙණ දුර්භික්‍ෂය වෙයි. ගොවිපලවල් පාළුවෙත්. කරල් පණුවන් විද බොල්වෙත්, නොපූදිත්. ඒ කරණකොට ගෙණ බොහෝ මනුෂ්‍යයෝ මැරෙත්. “බමුණ, යම් හෙයකින් මිනිසුන්ගේ ක්‍ෂයවීම වේද, තුනී බව පෙනේද, ගමුත් නොගම් වෙත්ද, නියම්ගමුත් නියම්ගම් නොවෙත්ද, නුවරවලුත් නගර නොවෙත්ද, ජනපදයෝත් ජනපද නොවෙත්ද, මේ වනාහි ඊට හේතුවයි. මේ ඊට ප්‍රත්‍යය.
“බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි. දැන් මනුෂ්‍යයෝ අන්සතු දෙයෙහි ඇලීමයයි කියන ලද අධර්‍ම රාගයෙන් ඇලුනාහු, විෂම ලෝභයෙන් මඩනා ලද්දාහු, නොනිසි වස්තූන්හි ඇලීමයයි කියන ලද මිත්‍ථ්‍යා ධර්‍මයෙන් යුක්තවූවාහු වෙත්. අධර්‍ම රාගයෙන් ඇළුණාවූ, විෂම ලෝභයෙන් මඩනා ලද්දාවූ, මිත්‍ථ්‍යා ධර්‍මයෙන් යුක්තවූ මනුෂ්‍යයන් වෙත්. අධිපති යක්‍ෂයෝ චණ්ඩ අමනුෂ්‍යයන් යවත්. එයින් බොහෝ මිනිසුන් මැරෙත්.. “බමුණ, යම් හෙයකින් මිනිසුන්ගේ ක්‍ෂයවීම වේද, තුනී බව පෙනේද, ගමුත් නොගම් වෙත්ද, නියම්ගමුත් නියම්ගම් නොවෙත්ද, නුවරවලුත් නගර නොවෙත්ද, ජනපදයෝත් ජනපද නොවෙත්ද, මේ වනාහි ඊට හේතුවයි. මේ ඊට ප්‍රත්‍යය.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරණ ලද්දේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුළාවූවෙකුට මාර්‍ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි කියා තෙල් පහණක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ ඇසූ මම භවත් ගෞතමයන් වහන්සේගේද, ධර්මයෙහිද, සංඝයාගේද සරණ යමි. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට මා දන්නා සේක්වා” යි කීයේය.
3. 2. 1. 7. වච්ඡගොත්ත සූත්‍රය
7. එකල්හි වනාහි වච්ඡගොත්ත නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. “භවත් ගෞතමයන් වහන්ස, මා විසින් මේ කාරණය අසන ලදී. ශ්‍රමණ ගෞතම තෙම මෙසේ කියයි. කෙසේද, ‘මටම දන් දිය යුතුයි. අනුන්ට දන් නොදිය යුතුයි. මගේම ශ්‍රාවකයන්ට දන් දිය යුතුයි. අනුන්ගේ ශ්‍රාවකයන්ට දන් නොදිය යුතුයි. මටම දෙන ලද්ද මහත්වූ ඵල විපාක ඇති වෙයි. අනුන්ට දෙන ලද්ද මහත් ඵල ඇති නොවෙයි. මගේම ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත් ඵලයි. අන්‍යයන්ගේ ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත්ඵල නැත්තේය’ කියායි.”