3. 1. 5. 10. ආතප්පකරණීය සූත්රය
50. “මහණෙනි, කරුණු තුනකින් වීර්ය්ය කටයුතුවේ. කවර තුනකින්ද යත්. නූපන්නාවූ ලාමක අකුශල ධර්මයන්ගේ නොඉපදවීම පිණිස වීර්ය්ය කටයුතුයි. නූපන්නාවූ කුශල ධර්මයන්ගේ ඉපදවීම පිණිස වීර්ය්ය කටයුතුයි. උපන්නාවූ ශාරීරිකවූ, දුක්වූ, තියුණුවූ, කෲරවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ප්රාණය නැති කරන්නාවූ, වේදනාවන් ඉවසීම පිණිස වීර්ය්ය කටයුතුයි. මහණෙනි, මේ කරුණු තුනෙහි වීර්ය්ය කටයුතුයි.”
“මහණෙනි, මහණතෙම යම් කලක පටන් නූපන්නාවූ ලාමක අකුශල ධර්මයන්ගේ නොඉපදවීම පිණිස වීර්ය්ය කෙරේද, නූපන්නාවූ කුශල ධර්මයන්ගේ ඉපදවීම පිණිස වීර්ය්ය කෙර්ද, උපන්නාවූ ශාරීරිකවූ, දුක්වූ, තියුණුවූ, කෲරවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ප්රාණය නැති කරන්නාවූ, වේදනාවන් ඉවසීම පිණිස වීර්ය්ය කෙරේද, මහණෙනි, මේ මනාකොට දුක් කෙළවර කිරීම පිණිස කෙලෙස් තවන වීර්ය්යයෙන් යුක්තවූ, නුවණ ඇත්තාවූ, සිහියෙන් යුක්තවූ භික්ෂුවයයි කියනු ලැබේ.”
3. 1. 5. 11. මහාචොර සූත්රය
51. “මහණෙනි, අඞ්ග තුනකින් යුක්තවූ මහා සොරතෙම ගෙවල් බිඳීමද කරයි. උමං කැපීමද කරයි. එක ගෙයක් වටකර කරණලද පැහැරගැන්මද කරයි. මංපැහැරීමද කරයි. කවර තුනකින්ද යත්. මහණෙනි, මේ ලෙව්හි මහා සොරතෙම විෂම ස්ථානයන් ඇසුරුකොට වසන්නේ හෝ වෙයි. වන ලැහැබක් ඇසුරුකොට වසන්නේ හෝ වෙයි. බලවතුන් ඇසුරුකොට වසන්නේ හෝ වෙයි.”
“මහණෙනි, මහා සොරතෙම කෙසේනම් විෂමවූ තැන් ඇසුරුකොට වාසය කරන්නේද, මහණෙනි, මෙහි මහා සොරතෙම නදී දුර්ගමස්ථාන හෝ ඇසුරුකොට වාසය කරයි. විෂමවූ පර්වතයන් හෝ ඇසුරුකොට වාසය කරයි. මහණෙනි, මහා සොරතෙම මෙසේ විෂම ස්ථාන ඇසුරුකොට වාසය කරන්නේ වෙයි.”
“මහණෙනි, කෙසේනම් මහා සොරතෙම වන ලැහැබක් ඇසුරුකොට වාසය කරන්නේද, මහණෙනි, මේ මහා සොරතෙම තෘණයන්ගෙන් ගැවසීගත් තැනක් හෝ ඇසුරු කරන්නේ වේ. ඝනවූ වනලැහැබක් හෝ ඇසුරු කරන්නේ වේ. මහණෙනි, මෙසේ වනාහි මහා සොරතෙම වනලැහැබක් ඇසුරුකොට වසන්නේ වේ.”
“මහණෙනි, මහා සොරතෙම කෙසේ බලවතුන් ඇසුරුකොට වාසය කරන්නේද? මහණෙනි, මේ මහා සොරතෙම රජ හෝ රජ මහ ඇමතියන් හෝ ඇසුරුකොට වාසය කරයි. ඕහට මෙසේ අදහස් වෙයි. ‘ඉදින් මට කිසිවෙක් කිසිවක් කියාද, මගේ මේ රජවරු හෝ රජ මහ ඇමතියන් හෝ ඒ ඒ කරුණු දක්වා හිතවත්ව කථා කරන්නාහුය.’ කියායි. ඉදින් ඔහුට කිසිවෙක් කිසිවක් කියානම් ඔහුගේ ඒ රජ දරුවෝ හෝ රජ මහ ඇමතියෝ හෝ කරුණු දක්වා හිතවත්ව කථාකරත්. මහණෙනි, මෙසේ මහා සොරතෙමේ බලවතුන් ඇසුරුකොට වාසයකරයි. මහණෙනි, මේ අඞ්ග තුනින් යුත් මහා සොරතෙමේ ගෙවල් බිඳීමද කරයි. උමං කැපීමද කරයි. එක ගෙයක් වටකර කරණ පැහැර ගැන්මද කරයි. මංපැහැරීමද කරයි.”
“මහණෙනි, එසේම කරුණු තුනකින් යුත් පවිටු භික්ෂුව නසනලද, විනාශ කරණ ලද තම ආත්මය පරිහරණය කරයි. අපවාද කළ යුත්තෙක්ද වෙයි. නුවණැතියන් විසින් කිය යුත්තෙක්ද වෙයි. බොහෝ අකුශල්ද රැස්කරයි. කවර තුනකින්ද යත්. මහණෙනි, මේ ශාසනයෙහි පවිටු භික්ෂුව විෂම ස්ථාන ඇසුරු කළේ වේද, වන ලැහැබ් ඇසුරු කළේ වේද, බලවතුන් ඇසුරු කළේ වේද වේ.”
“මහණෙනි, කෙසේනම් පවිටු භික්ෂුව විෂමස්ථාන ඇසුරු කළේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි පවිටු මහණ තෙම විෂමවූ කායකර්මයෙන් යුක්තවේද, විෂමවූ වාක් කර්මයෙන් යුක්තවේද, විෂමවූ මනොකර්මයෙන් යුක්තවේද, මහණෙනි, මෙසේ වනාහි පාප භික්ෂුව විෂම ස්ථාන ඇසුරු කරන්නේ වේ.”
“මහණෙනි, කෙසේනම් පාප භික්ෂුව වන ලැහැබ් ඇසුරුකොට වාසය කරන්නේද? මහණෙනි, මේ ශාසනයෙහි පවිටු මහණතෙම මිත්ථ්යාදෘෂ්ටික වේද, දස වස්තුක මිත්ථ්යාදෘෂ්ටියෙන් යුක්තවූයේ වේද, මහණෙනි, මෙසේ මහණතෙම වන ලැහැබ ඇසුරුකොට වාසය කළේ වේ.”
“මහණෙනි, කෙසේ නම් පවිටු මහණතෙමේ බලවතුන් ඇසුරුකොට වාසය කරන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි පවිටු මහණතෙම රජුන් හෝ මහ ඇමතියන් හෝ ඇසුරුකොට වසන්නේ වෙයි. ඔහුට මෙසේ අදහස් වෙයි. ‘ඉදින් මට කිසිවෙක් කිසිවක් කියන්නේද, මට මාගේ රජුන් හෝ රජ මහ ඇමතියන් හෝ කරුණු දක්වා හිතවත්ව කථා කරන්නාහුය.’ කියායි. ඉදින් ඔහුට කිසිවෙක් කිසිවක් කියයි නම් රජවරු හෝ රජ මහ ඇමතියන් හෝ කරුණු දක්වා හිතවත් කථා කරත්. මහණෙනි, මෙසේ පාප භික්ෂුව බලවතුන් ඇසුරු කළේ වේ. මහණෙනි, මේ කරුණු තුනින් යුක්තවූ පාප භික්ෂුව නසන ලද, විනාශ කරණ ලද ආත්මය පරිහරණය කරයි. නුවණැත්තන් විසින් වරද පෙන්වා කියයුත්තේද, අවවාද කටයුත්තේද වේ. බොහෝ අකුශල්ද රැස් කරයි.”
පස්වැනි චූල වර්ගය නිමි.
පළමුවැනි පනස සම්පූර්ණයි.