3. 1. 5. 11. මහාචොර සූත්රය
51. “මහණෙනි, අඞ්ග තුනකින් යුක්තවූ මහා සොරතෙම ගෙවල් බිඳීමද කරයි. උමං කැපීමද කරයි. එක ගෙයක් වටකර කරණලද පැහැරගැන්මද කරයි. මංපැහැරීමද කරයි. කවර තුනකින්ද යත්. මහණෙනි, මේ ලෙව්හි මහා සොරතෙම විෂම ස්ථානයන් ඇසුරුකොට වසන්නේ හෝ වෙයි. වන ලැහැබක් ඇසුරුකොට වසන්නේ හෝ වෙයි. බලවතුන් ඇසුරුකොට වසන්නේ හෝ වෙයි.”
“මහණෙනි, මහා සොරතෙම කෙසේනම් විෂමවූ තැන් ඇසුරුකොට වාසය කරන්නේද, මහණෙනි, මෙහි මහා සොරතෙම නදී දුර්ගමස්ථාන හෝ ඇසුරුකොට වාසය කරයි. විෂමවූ පර්වතයන් හෝ ඇසුරුකොට වාසය කරයි. මහණෙනි, මහා සොරතෙම මෙසේ විෂම ස්ථාන ඇසුරුකොට වාසය කරන්නේ වෙයි.”
“මහණෙනි, කෙසේනම් මහා සොරතෙම වන ලැහැබක් ඇසුරුකොට වාසය කරන්නේද, මහණෙනි, මේ මහා සොරතෙම තෘණයන්ගෙන් ගැවසීගත් තැනක් හෝ ඇසුරු කරන්නේ වේ. ඝනවූ වනලැහැබක් හෝ ඇසුරු කරන්නේ වේ. මහණෙනි, මෙසේ වනාහි මහා සොරතෙම වනලැහැබක් ඇසුරුකොට වසන්නේ වේ.”
“මහණෙනි, මහා සොරතෙම කෙසේ බලවතුන් ඇසුරුකොට වාසය කරන්නේද? මහණෙනි, මේ මහා සොරතෙම රජ හෝ රජ මහ ඇමතියන් හෝ ඇසුරුකොට වාසය කරයි. ඕහට මෙසේ අදහස් වෙයි. ‘ඉදින් මට කිසිවෙක් කිසිවක් කියාද, මගේ මේ රජවරු හෝ රජ මහ ඇමතියන් හෝ ඒ ඒ කරුණු දක්වා හිතවත්ව කථා කරන්නාහුය.’ කියායි. ඉදින් ඔහුට කිසිවෙක් කිසිවක් කියානම් ඔහුගේ ඒ රජ දරුවෝ හෝ රජ මහ ඇමතියෝ හෝ කරුණු දක්වා හිතවත්ව කථාකරත්. මහණෙනි, මෙසේ මහා සොරතෙමේ බලවතුන් ඇසුරුකොට වාසයකරයි. මහණෙනි, මේ අඞ්ග තුනින් යුත් මහා සොරතෙමේ ගෙවල් බිඳීමද කරයි. උමං කැපීමද කරයි. එක ගෙයක් වටකර කරණ පැහැර ගැන්මද කරයි. මංපැහැරීමද කරයි.”
“මහණෙනි, එසේම කරුණු තුනකින් යුත් පවිටු භික්ෂුව නසනලද, විනාශ කරණ ලද තම ආත්මය පරිහරණය කරයි. අපවාද කළ යුත්තෙක්ද වෙයි. නුවණැතියන් විසින් කිය යුත්තෙක්ද වෙයි. බොහෝ අකුශල්ද රැස්කරයි. කවර තුනකින්ද යත්. මහණෙනි, මේ ශාසනයෙහි පවිටු භික්ෂුව විෂම ස්ථාන ඇසුරු කළේ වේද, වන ලැහැබ් ඇසුරු කළේ වේද, බලවතුන් ඇසුරු කළේ වේද වේ.”
“මහණෙනි, කෙසේනම් පවිටු භික්ෂුව විෂමස්ථාන ඇසුරු කළේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි පවිටු මහණ තෙම විෂමවූ කායකර්මයෙන් යුක්තවේද, විෂමවූ වාක් කර්මයෙන් යුක්තවේද, විෂමවූ මනොකර්මයෙන් යුක්තවේද, මහණෙනි, මෙසේ වනාහි පාප භික්ෂුව විෂම ස්ථාන ඇසුරු කරන්නේ වේ.”
“මහණෙනි, කෙසේනම් පාප භික්ෂුව වන ලැහැබ් ඇසුරුකොට වාසය කරන්නේද? මහණෙනි, මේ ශාසනයෙහි පවිටු මහණතෙම මිත්ථ්යාදෘෂ්ටික වේද, දස වස්තුක මිත්ථ්යාදෘෂ්ටියෙන් යුක්තවූයේ වේද, මහණෙනි, මෙසේ මහණතෙම වන ලැහැබ ඇසුරුකොට වාසය කළේ වේ.”
“මහණෙනි, පවිටු භික්ෂුව කෙසේ නම් බලවතුන් ඇසුරු කළේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි පවිටු භික්ෂුව රජුන් හෝ රජ මහ ඇමතියන් හෝ ඇසුරු කළේ වෙයි. ඔහුට මෙබඳු සිතක් වෙයි: ‘ඉදින් මට කිසිවෙක් කිසිවක් කියන්නේ නම්, මේ රජවරු හෝ රජ මහ ඇමතියෝ හෝ මාගේ දොස් වසා මා වෙනුවෙන් කතා කරන්නාහු ය’ යි. ඉදින් ඔහුට කිසිවෙක් කිසිවක් කියයි නම්, ඒ රජවරු හෝ රජ මහ ඇමතියෝ හෝ ඔහුගේ දොස් වසා ඔහු වෙනුවෙන් කතා කරති. මහණෙනි, මෙසේ පවිටු භික්ෂුව බලවතුන් ඇසුරු කළේ වේ. මහණෙනි, මේ කරුණු තුනෙන් යුක්ත වූ පවිටු භික්ෂුව ගුණ නැසුණු, ගුණ විනාශ වූ තමා පවත්වයි. වරද සහිත ද වෙයි, නුවණැත්තන්ගේ ගැරහීමට ලක් වූයේ ද වෙයි. බොහෝ පව් ද රැස් කරයි.”
පස්වැනි චූල වර්ගය නිමි.
පළමුවැනි පනස සම්පූර්ණයි.