3. 1. 3. 7. ජිගුච්ඡිතබ්බ සූත්‍රය
27. “මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර තුන්දෙනෙක්ද යත්. “මහණෙනි, පිළිකුළ් කටයුතුවූ, සේවනය නොකළ යුතුවූ, භජනය නොකළ යුතුවූ, ආශ්‍රය නොකළ යුතුවූ පුද්ගලයෙක් ඇත්තේය. මහණෙනි, මැදහත් විය යුතුවූ, සේවනය නොකළ යුතුවූ, භජනය නොකළ යුතුවූ, ආශ්‍රය නොකළ යුතුවූ පුද්ගලයෙක් ඇත්තේය. මහණෙනි, සේවනය කළ යුතුවූ, භජනය කළ යුතුවූ, ආශ්‍රය කළ යුතුවූ පුද්ගලයෙක් ඇත්තේය.
“මහණෙනි, පිළිකුල් කටයුතුවූ, සේවනය නොකළ යුතුවූ, ආශ්‍රය නොකළ යුතුවූ පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීලවූයේ. ලාමක ස්වභාව ඇත්තේ, අපිරිසිදුවූයේ. සැකයෙන් සිහි කළ යුතු පැවතුම් ඇත්තේ, වැසුණු පව්කම් ඇත්තේ, අශ්‍රමණ වූයේ, ශ්‍රමණයෙකැයි කියා සිටින්නේ, බ්‍රහ්මචාරී නොවූයේ ‘බ්‍රහ්මචාරියෙමි’ යි කියා සිටින්නේ. ඇතුලත කුණු වූයේ, අපිරිසිදුවූයේ, හටගත් කෙලෙස් කසල ඇත්තේ වේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම පිළිකුල් කටයුතුය. සේවනය නොකළ යුතුය. භජනය නොකළ යුතුය. ආශ්‍රය නොකළ යුතුය. ඊට හේතු කවරේද? කිසිසේත් මෙබඳු පුද්ගලයාගේ අදහස් අනුව යාමට නොපැමිණියත්, පුරුෂ පුද්ගල තෙම පවිටු මිතුරන් ඇත්තෙකි. පවිටු යහළුවන් ඇත්තෙකි. පවිටන් කෙරෙහි නැමෙන්නෙකියි අයහපත්වූ අගුණ කථා ශබ්දයක් පැන නගී. මහණෙනි, යම්සේ වනාහි සර්‍පයෙක් අශූචියකට පැමිණියේ කිසිසේත් දෂ්ට නොකෙරේද, නැවත ඔහු ඇඟ තවරාද, මහණෙනි, එපරිද්දෙන්ම වනාහි කිසිසේත් මෙබඳු පුද්ගලයාගේ අදහස් අනුව නොගියේද, වැලිදු පුරුෂ පුද්ගල තෙම පවිටු මිතුරන් ඇත්තෙකි. පවිටු යහළුවන් ඇත්තෙකි. පවිටන් කෙරෙහි නැමෙන්නෙකියි. අයහපත්වූ අගුණ කථා ශබ්දයක් පැන නගී. එසේ හෙයින් මෙබඳු පුද්ගල තෙම පිළිකුල් කටයුතුය. සෙවනය නොකටයුතුය. ආශ්‍රය නොකටයුතුය.
“මහණෙනි, මධ්‍යස්ථ විය යුතුවූ, සේවනය නොකළ යුතුවූ පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැඩි ආයාස බහුලකොට ඇත්තේ, ක්‍රෝධ කරණ ස්වභාව ඇත්තේ වේද, ස්වල්පයක් නමුත් කියන ලද්දේ එහි ලැගේද, කිපේද, ප්‍රකෘතිය අත්හරීද, තද බවට පැමිණේද, කෝපයද, ද්වේෂයද, නොසතුටු ආකාරයද, පහළ කෙරේද, මහණෙනි, යම්සේ පුරාණ වණයක් දඬුකඩකින් හෝ කැබිලිත්තකින් හෝ ස්පර්‍ශ කරණ ලද්දේ බොහෝ සෙයින්ම ලේ සැරව වගුරුවාද, මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැඩි ආයාස බහුලකොට ඇත්තේ, ක්‍රෝධ කරණ ස්වභාව ඇත්තේ වේද, ස්වල්පයක් නමුත් කියන ලද්දේ එහි ලැගේද, කිපේද, ප්‍රකෘතිය අත්හරීද, තද බවට පැමිණේද, කෝපයද, ද්වේෂයද, නොසතුටු ආකාරයද, පහළ කෙරේද, මහණෙනි, යම්සේ තිඹිරි පෙනෙල්ලක් දඬුකඩකින් හෝ කැබිලිත්තකින් හෝ ගටන ලද්දේ බොහෝ සෙයින්ම චිට් චිට් යන අනුකරණ ශබ්ද පවත්වාද, චිටි චිටි යන අනුකරණ ශබ්ද පවත්වාද, මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැඩි ආයාස බහුලකොට ඇත්තේ, ක්‍රෝධ කරණ ස්වභාව ඇත්තේ වේද, ස්වල්පයක් නමුත් කියන ලද්දේ එහි ලැගේද, කිපේද, ප්‍රකෘතිය අත්හරීද, තද බවට පැමිණේද, කෝපයද, ද්වේෂයද, නොසතුටු ආකාරයද, පහළ කෙරේද, මහණෙනි, යම්සේ අශුචි වලක් දඬුකඩකින් හෝ කැබිලිත්තකින් හෝ ගටනා ලද්දේ බොහෝ සෙයින්ම දුගඳ වේද? මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැඩි ආයාස බහුලකොට ඇත්තේ, ක්‍රෝධ කරණ ස්වභාව ඇත්තේ වේද, ස්වල්පයක් නමුත් කියන ලද්දේ එහි ලැගේද, කිපේද, ප්‍රකෘතිය අත්හරීද, තද බවට පැමිණේද, කෝපයද, ද්වේෂයද, නොසතුටු ආකාරයද, පහළ කෙරේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම මධ්‍යස්ථ කළ යුතුය. භජනය නොකළ යුතුය. ආශ්‍රය නොකළ යුතුය. ඊට හේතු කවරේද? ‘මට ආක්‍රෝශ කරන්නේයයි මට පිරිහෙළා බනින්නේයයිද, මට අනර්ත්‍ථයක් කරන් නේයයිද’ කියායි. එසේ හෙයින් මෙබඳු පුද්ගල තෙම මධ්‍යස්ථ කළ යුතුය. සේවනය නොකළ යුතුය. භජනය නොකළ යුතුය. ආශ්‍රය නොකළ යුතුය.
“මහණෙනි, සේවනය කළයුතු, භජනය කළයුතු, ආශ්‍රය කළයුතු පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සිල් ඇත්තේද, යහපත් ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම සේවනය කළ යුතුය. භජනය කළ යුතුය, ආශ්‍රය කළ යුතුය. ඊට හේතු කවරේද? මහණෙනි, කිසිසේත් මෙබඳු පුද්ගලයාගේ ආදර්‍ශයට නොපැමිණේද, යලිදු ඔහු කරා යහපත්වූ ගුණ කථාවක් උස්ව නඟී. කෙසේද? පුරුෂතෙම යහපත් මිතුරන් ඇත්තෙක. යහපත් යහළුවන් ඇත්තෙක යහපතුන් කෙරෙහි නැමීම ඇත්තෙක කියායි. එසේ හෙයින් මෙබඳු පුද්ගල තෙම සේවනය කළ යුකුය. භජනය කළ යුතුය. ආශ්‍රය කළ යුතුය. මහණෙනි, මේ පුද්ගල තෙම ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
2. තමන්ට වඩා ගුණයෙන් හීනවූ පුද්ගලයන් සේවනය කරන්නාවූ පුරුෂතෙම පිරිහෙයි. තමන්ට සමාන ගුණ ඇති පුද්ගලයන් සේවනය කරන්නාවූ පුද්ගලයා නොපිරිහේ. ශ්‍රේෂ්ට පුද්ගලයන්ගේ ගතිගුණවලට නැමෙන පුද්ගලයා වහා ගුණයෙන් වැඩෙයි. එසේ හෙයින්, තමන්ට වඩා උතුම් කෙනෙකු ආශ්‍රය කරන්නේය’ යි වදාළසේක.
3. 1. 3. 8. ගුථභාණී සූත්‍රය
28. “මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර තුන්දෙනෙක්ද යත්, ගඳ ගසන කථා කියන පුද්ගලයාය, සුවඳවත් කථා කියන පුද්ගලයාය. මීවැනි මිහිරි කථා කියන පුද්ගලයාය යන තුන් දෙනයි.
“මහණෙනි, ගඳ ගසන කථා කියන පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සභාවකට ගියේ හෝ, පිරිස් මැදට ගියේ හෝ, නෑයන් මැදට ගියේ හෝ, සේනා මධ්‍යයට ගියේ හෝ, රජ කුලයන් මැදට ගියේ හෝ ශාක්‍ෂි විචාරණ ලද්දේ, ‘එම්බල පුරුෂය, මෙහි එව. යමක් දන්නෙහි නම් එය කියව’ යි අභිමුඛයට පමුණුවන ලද්දේ වේ. හෙතෙම නොදන්නේ, නොදැනම ‘දනිමි’ යි කියයි. දන්නේ හෝ, ‘නොදනිමි’ යි කියයි. නොදක්නේ හෝ, ‘දකිමි’ යි කියයි. දක්නේ හෝ, ‘නොදකිමි’ යි කියයි. මෙසේ තමා හේතුකොටගෙන හෝ අනුන් හේතුකොට ගෙන හෝ කිසියම් ආමිසයක් හේතුකොට ගෙන හෝ දැන දැන බොරු කියන්නේ වේද, මහණෙනි, මේ ගඳ ගසන කථා කියන පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, සුවඳවත් කථා කියන පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සභාවකට ගියේ හෝ, පිරිස් මැදට ගියේ හෝ, නෑයන් මැදට ගියේ හෝ, සේනා මධ්‍යයට ගියේ හෝ, රජ කුලයන් මැදට ගියේ හෝ ශාක්‍ෂි විචාරණ ලද්දේ, ‘එම්බල පුරුෂය, මෙහි එව. යමක් දන්නෙහි නම් එය කියව’ යි අභිමුඛයට පමුණුවන ලද්දේ වේ. හෙතෙම නොදන්නේ, නොදැනම ‘නොදනිමි’ යි කියයි. දන්නේ හෝ, ‘දනිමි’ යි කියයි. නොදක්නේ හෝ, ‘නොදකිමි’ යි කියයි. දක්නේ හෝ, ‘දකිමි’ යි කියයි. මෙසේ තමා හේතුකොටගෙන හෝ අනුන් හේතුකොට ගෙන හෝ කිසියම් ආමිසයක් හේතුකොට ගෙන හෝ දැන දැන බොරු නොකියන්නේ වේද, මහණෙනි, මේ සුවඳවත් මල් වැනි සත්‍ය කථා කියන පුද්ගලයාය.
“මහණෙනි, මීපැනි වැනි කථා කියන පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ඵරුෂවචන අත්හැර, ඵරුෂ වචනයෙන් දුරුවූයේ වේද, නිර්දෝෂවූ, කණට සැපවූ, ප්‍රේමය උපදවන්නාවූ, හිත තුළට වැද ගන්නාවූ, ගුණයෙන් පිරුණාවූ, පුරවාසීන් අතර පැවැත්තාවූ, බොහෝ දෙනා කැමතිවන්නාවූ යම් වචනයක් වේද, එබඳු වචන කියන්නේ වේද, මහණෙනි, මේ මීපැණි වැනි වචන කියන පුද්ගලයායි. මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.”