3. 1. 3. 8. ගුථභාණී සූත්‍රය
28. “මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර තුන්දෙනෙක්ද යත්, ගඳ ගසන කථා කියන පුද්ගලයාය, සුවඳවත් කථා කියන පුද්ගලයාය. මීවැනි මිහිරි කථා කියන පුද්ගලයාය යන තුන් දෙනයි.
“මහණෙනි, ගඳ ගසන කථා කියන පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සභාවකට ගියේ හෝ, පිරිස් මැදට ගියේ හෝ, නෑයන් මැදට ගියේ හෝ, සේනා මධ්‍යයට ගියේ හෝ, රජ කුලයන් මැදට ගියේ හෝ ශාක්‍ෂි විචාරණ ලද්දේ, ‘එම්බල පුරුෂය, මෙහි එව. යමක් දන්නෙහි නම් එය කියව’ යි අභිමුඛයට පමුණුවන ලද්දේ වේ. හෙතෙම නොදන්නේ, නොදැනම ‘දනිමි’ යි කියයි. දන්නේ හෝ, ‘නොදනිමි’ යි කියයි. නොදක්නේ හෝ, ‘දකිමි’ යි කියයි. දක්නේ හෝ, ‘නොදකිමි’ යි කියයි. මෙසේ තමා හේතුකොටගෙන හෝ අනුන් හේතුකොට ගෙන හෝ කිසියම් ආමිසයක් හේතුකොට ගෙන හෝ දැන දැන බොරු කියන්නේ වේද, මහණෙනි, මේ ගඳ ගසන කථා කියන පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, සුවඳවත් කථා කියන පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සභාවකට ගියේ හෝ, පිරිස් මැදට ගියේ හෝ, නෑයන් මැදට ගියේ හෝ, සේනා මධ්‍යයට ගියේ හෝ, රජ කුලයන් මැදට ගියේ හෝ ශාක්‍ෂි විචාරණ ලද්දේ, ‘එම්බල පුරුෂය, මෙහි එව. යමක් දන්නෙහි නම් එය කියව’ යි අභිමුඛයට පමුණුවන ලද්දේ වේ. හෙතෙම නොදන්නේ, නොදැනම ‘නොදනිමි’ යි කියයි. දන්නේ හෝ, ‘දනිමි’ යි කියයි. නොදක්නේ හෝ, ‘නොදකිමි’ යි කියයි. දක්නේ හෝ, ‘දකිමි’ යි කියයි. මෙසේ තමා හේතුකොටගෙන හෝ අනුන් හේතුකොට ගෙන හෝ කිසියම් ආමිසයක් හේතුකොට ගෙන හෝ දැන දැන බොරු නොකියන්නේ වේද, මහණෙනි, මේ සුවඳවත් මල් වැනි සත්‍ය කථා කියන පුද්ගලයාය.
“මහණෙනි, මීපැනි වැනි කථා කියන පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ඵරුෂවචන අත්හැර, ඵරුෂ වචනයෙන් දුරුවූයේ වේද, නිර්දෝෂවූ, කණට සැපවූ, ප්‍රේමය උපදවන්නාවූ, හිත තුළට වැද ගන්නාවූ, ගුණයෙන් පිරුණාවූ, පුරවාසීන් අතර පැවැත්තාවූ, බොහෝ දෙනා කැමතිවන්නාවූ යම් වචනයක් වේද, එබඳු වචන කියන්නේ වේද, මහණෙනි, මේ මීපැණි වැනි වචන කියන පුද්ගලයායි. මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.”
3. 1. 3. 9. අන්‍ධෙක චක්ඛු සූත්‍රය
29. “මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලෝකයෙහි ඇත. විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක්ද යත්. අන්‍ධ පුද්ගලයාය, එක ඇසක් ඇති පුද්ගලයාය, දෑසම ඇති පුද්ගලයාය යන තුන් දෙනයි. “මහණෙනි, අන්‍ධ පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට යම්බඳුවූ ඇසකින් නොලද්දාවූ හෝ භෝගය ලබන්නේද, ලබනලද හෝ භෝගය වැඩි දියුණු කරන්නේද, එබඳුවූ ඇසක් නොවේද, යම්බඳුවූ ඇසකින් කුශලාකුශල ධර්‍මයන් දන්නේද, දොස් නිදොස් ධර්‍මයන් දන්නේද, උස් පහත් ධර්‍ම දන්නේද, කුශලාකුශල ධර්‍මයන්ට සමාන කොටස් ඇති ධර්‍මයන් දන්නේද, එබඳුවූ ඇසක්ද ඕහට නොවේද, මහණෙනි, මේ අන්‍ධ පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, එක් ඇසක් ඇති පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට යම්බඳුවූ ඇසකින් නොලද්දාවූ භෝගය ලබන්නේද, ලබන ලද හෝ භෝගය වැඩි දියුණු කරන්නේද, එබඳුවූ ඇසක් ඇත්තේය. යම්බඳුවූ ඇසකින් කුශලාකුශල ධර්‍මයන් දන්නේද, වරද, නිවරද ධර්‍මයන් දන්නේද, උස් පහත් ධර්‍මයන් දන්නේද, කුශලාකුශල ධර්‍මයන්ට සමාන කොටස් ඇති ධර්‍මයන් දන්නේද, ඔහුට එබඳු ඇස නැත්තේද, මහණෙනි, මේ එක් ඇසක් ඇති පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, ඇස් දෙකම ඇති පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට යම්බඳුවූ ඇසකින් නොලද් වස්තු ලබන්නේද, ලත් වස්තු වැඩි දියුණු කරන්නේද, එබඳුවූ ඇසද ඇත්තේ වේද. යම්බඳුවූ ඇසකින් කුශලාකුශල ධර්‍මයන් දන්නේද, වරද, නිවරද ධර්‍මයන් දන්නේද, උස් පහත් ධර්‍මයන් දන්නේද, කුශලාකුශල ධර්‍මයන්ට සමාන කොටස් ඇති ධර්‍මයන් දන්නේද, එබඳු ඇසද ඇත්තේ වේද, මහණෙනි, මේ ඇස් දෙකම ඇති පුද්ගලයාය. මහණෙනි, මේ පුද්ගලයන් තුන් දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.”
3. “එබඳුවූ (එතරම්) වස්තුවක් නැත්තේද, පින්ද නොකෙරේද, නැසුණාවූ ඇස් ඇති අන්‍ධයාහට මෙලොව, පරලොව දෙක්හිම පරාජය ඇතිවෙයි.
4. “නැවත, එක් ඇසක් ඇති පුද්ගලයා කියන ලද්දේ වෙයි. (හෙතෙම) ධර්මයෙන්ද, අධර්මයෙන්ද, මිශ්‍රව වස්තුව සපයයි.
5. “(කෙසේද) කම්සැප විඳින මිනිස් තෙමේ සොරකමින්ද, කපටිකමින්ද, බොරු කීමෙන්ද, සොරකමින්ද යන දෙකින් වස්තුව රැස් කිරීමට දක්‍ෂයෙක් වේ. ඒ එකැස් ඇත්තාවූ පුරුෂතෙම මෙයින් නරකයට ගොස් වැනසේ.
6. ඇස් දෙකම ඇති පුද්ගලයා ශ්‍රේෂ්ඨවූ පුරුෂ පුදගලයායයි කියනු ලැබේ. හෙතෙම ධර්මයෙන් ලද්දාවූ භෝගයන්ගෙන් ද වීර්‍ය්‍යයෙන් ලද්දාවූ ධනයෙන් ද යුක්ත වේ.
7. උතුම් අදහස් ඇත්තාවූ සැක නොකටයුතු සිත් ඇත්තාවූ, ඒ මනුෂ්‍යතෙම, (එය) දෙයි. යම් තැනෙකට පැමිණ ශෝක නොකෙරේනම්, ඒ උතුම් ස්ථානයට පැමිණ ශෝක නොකෙරෙයි.
8. අන්‍ධයාද, එකැස් ඇත්තාද, දුරින් දුරු කරන්නේය. ශ්‍රේෂඨ පුරුෂ පුද්ගලවූ ඇස් දෙකම ඇති පුද්ගලයා සේවනය කරන්නේය” යි වදාළ සේක.