3. 1. 3. 6. නසේවිතබ්බ සූත්‍රය
26. “මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක්ද යත්. මහණෙනි, සෙවනය නොකට යුතුවූ, භජනය නොකළ යුතුවූ, ආශ්‍රය නොකළ යුතුවූ පුද්ගලයෙක් ඇත්තේය. මහණෙනි, සේවනය කළ යුතුවූ, භජනය කළ යුතුවූ, ආශ්‍රය කළ යුතුවූ පුද්ගලයෙක් ඇත්තේය. මහණෙනි, සත්කාරකොට, ගරුකොට සේවනය කළ යුතුවූ, භජනය කළ යුතුවූ, ආශ්‍රය කළ යුතුවූ පුද්ගලයෙක් ඇත්තේය.
“මහණෙනි, සෙවනය නොකළ යුතුවූ, භජනය නොකළ යුතුවූ, ආශ්‍රය නොකළ යුතුවූ පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ශීලයෙන් සිත එකඟ කිරීමෙන්ද, ප්‍රඥාවෙන්ද, තමන්ට වඩා පහත්ද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම කරුණාවෙන් විනා, අනුකම්පාවෙන් විනා සේවනය නොකළ යුතුය. භජනය නොකළ යුතුය. ආශ්‍රය නොකළ යුතුය.
“මහණෙනි, සේවනය කළ යුතු, භජනය කළ යුතු, ආශ්‍රය කළ යුතු පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ශීලයෙන්, සිත එකඟ කිරීමෙන්, ප්‍රඥාවෙන් තමන් හා සමාන වේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම සේවනය කළ යුතුය. භජනය කළ යුතුය. ආශ්‍රය කළ යුතුය. ඊට හේතු කවරේද? ශීලයෙන් සමානභාවයට ගියාවූම අපගේ ශීල කථාව වන්නේය. අපගේ ශීල කථාවද පවත්වන්නේය. අපට ඒ කථාවද පහසු වන්නේය. සිත එකඟ කිරීමෙන් සමානත්‍වයට ගියාවූම අපගේ සිත එකඟ කිරීම සම්බන්‍ධ කථාව වන්නේය. අපගේ සමාධි කථාවද පවත්වන්නේය. අපට ඒ කථාවද පහසු වන්නේය. ප්‍රඥාවෙන් සමානභාවයට ගියාවූම අපගේ ප්‍රඥා කථාව වන්නේය. අපගේ ප්‍රඥා කථාවද පවත්වන්නේය. අපට ඒ කථාවද පහසු වන්නේය. එසේ හෙයින් මෙබඳු පුද්ගල තෙම සේවනය කළ යුතුය. භජනය කළ යුතුය. ආශ්‍රය කළ යුතුය.
“මහණෙනි, සත්කාරකොට ගරුකොට සේවනය කළයුතු, භජනය කළයුතු, ආශ්‍රය කළයුතු පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ශීලයෙන්, සිත එකඟ කිරීමෙන්, ප්‍රඥාවෙන් තමන්ට වඩා උසස් වේද? මහණෙනි.මෙබඳු පුද්ගල තෙම සත්කාරකොට, ගරුකොට සේවනය කළ යුතුය. භජනය කළ යුතුය. ආශ්‍රය කළ යුතුය. ඊට හේතු කවරේද? ‘මෙසේ ආශ්‍රය කිරීමෙන් සම්පූර්‍ණ නොවූ හෝ ශීල රාශිය සම්පූර්‍ණ කරන්නෙමි. සම්පූර්‍ණ කරගත් ශීල රාශියට ඒ ඒ තන්හි උපකාර ධර්‍ම ආශ්‍රයෙන් ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි. සම්පූර්‍ණ නොවූ හෝ සමාධි රාශිය සම්පූර්‍ණ කරන්නෙමි. සම්පූර්‍ණවූ හෝ සමාධි රාශියට ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි. සම්පූර්‍ණ නොවූ හෝ ප්‍රඥා රාශිය සම්පූර්‍ණ කරන්නෙමි. සම්පූර්‍ණවූ හෝ ප්‍රඥා රාශියට ඒ ඒ තන්හි නුවණින් අනුබල දෙන්නෙමි’ යි කියායි. එසේ හෙයින් මෙබඳු පුද්ගල තෙම සත්කාරකොට, ගරුකොට සේවනය කළ යුතුය. භජනය කළ යුතුය. ආශ්‍රය කළ යුතුය. මහණෙනි, මේ පුද්ගලයන් තුන්දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
1. තමන්ට වඩා ගුණයෙන් හීනවූ පුද්ගලයන් සේවනය කරන්නාවූ පුරුෂතෙම පිරිහෙයි. තමන්ට සමාන ගුණ ඇති පුද්ගලයන් සේවනය කරන්නාවූ පුද්ගලයා නොපිරිහේ. ශ්‍රේෂ්ට පුද්ගලයන්ගේ ගතිගුණවලට නැමෙන පුද්ගලයා වහා ගුණයෙන් වැඩෙයි. එසේ හෙයින්, තමන්ට වඩා උතුම් කෙනෙකු ආශ්‍රය කරන්නේය’ යි වදාළසේක.
3. 1. 3. 7. ජිගුච්ඡිතබ්බ සූත්‍රය
27. “මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර තුන්දෙනෙක්ද යත්. “මහණෙනි, පිළිකුළ් කටයුතුවූ, සේවනය නොකළ යුතුවූ, භජනය නොකළ යුතුවූ, ආශ්‍රය නොකළ යුතුවූ පුද්ගලයෙක් ඇත්තේය. මහණෙනි, මැදහත් විය යුතුවූ, සේවනය නොකළ යුතුවූ, භජනය නොකළ යුතුවූ, ආශ්‍රය නොකළ යුතුවූ පුද්ගලයෙක් ඇත්තේය. මහණෙනි, සේවනය කළ යුතුවූ, භජනය කළ යුතුවූ, ආශ්‍රය කළ යුතුවූ පුද්ගලයෙක් ඇත්තේය.
“මහණෙනි, පිළිකුල් කටයුතුවූ, සේවනය නොකළ යුතුවූ, ආශ්‍රය නොකළ යුතුවූ පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීලවූයේ. ලාමක ස්වභාව ඇත්තේ, අපිරිසිදුවූයේ. සැකයෙන් සිහි කළ යුතු පැවතුම් ඇත්තේ, වැසුණු පව්කම් ඇත්තේ, අශ්‍රමණ වූයේ, ශ්‍රමණයෙකැයි කියා සිටින්නේ, බ්‍රහ්මචාරී නොවූයේ ‘බ්‍රහ්මචාරියෙමි’ යි කියා සිටින්නේ. ඇතුලත කුණු වූයේ, අපිරිසිදුවූයේ, හටගත් කෙලෙස් කසල ඇත්තේ වේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම පිළිකුල් කටයුතුය. සේවනය නොකළ යුතුය. භජනය නොකළ යුතුය. ආශ්‍රය නොකළ යුතුය. ඊට හේතු කවරේද? කිසිසේත් මෙබඳු පුද්ගලයාගේ අදහස් අනුව යාමට නොපැමිණියත්, පුරුෂ පුද්ගල තෙම පවිටු මිතුරන් ඇත්තෙකි. පවිටු යහළුවන් ඇත්තෙකි. පවිටන් කෙරෙහි නැමෙන්නෙකියි අයහපත්වූ අගුණ කථා ශබ්දයක් පැන නගී. මහණෙනි, යම්සේ වනාහි සර්‍පයෙක් අශූචියකට පැමිණියේ කිසිසේත් දෂ්ට නොකෙරේද, නැවත ඔහු ඇඟ තවරාද, මහණෙනි, එපරිද්දෙන්ම වනාහි කිසිසේත් මෙබඳු පුද්ගලයාගේ අදහස් අනුව නොගියේද, වැලිදු පුරුෂ පුද්ගල තෙම පවිටු මිතුරන් ඇත්තෙකි. පවිටු යහළුවන් ඇත්තෙකි. පවිටන් කෙරෙහි නැමෙන්නෙකියි. අයහපත්වූ අගුණ කථා ශබ්දයක් පැන නගී. එසේ හෙයින් මෙබඳු පුද්ගල තෙම පිළිකුල් කටයුතුය. සෙවනය නොකටයුතුය. ආශ්‍රය නොකටයුතුය.
“මහණෙනි, මධ්‍යස්ථ විය යුතුවූ, සේවනය නොකළ යුතුවූ පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැඩි ආයාස බහුලකොට ඇත්තේ, ක්‍රෝධ කරණ ස්වභාව ඇත්තේ වේද, ස්වල්පයක් නමුත් කියන ලද්දේ එහි ලැගේද, කිපේද, ප්‍රකෘතිය අත්හරීද, තද බවට පැමිණේද, කෝපයද, ද්වේෂයද, නොසතුටු ආකාරයද, පහළ කෙරේද, මහණෙනි, යම්සේ පුරාණ වණයක් දඬුකඩකින් හෝ කැබිලිත්තකින් හෝ ස්පර්‍ශ කරණ ලද්දේ බොහෝ සෙයින්ම ලේ සැරව වගුරුවාද, මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැඩි ආයාස බහුලකොට ඇත්තේ, ක්‍රෝධ කරණ ස්වභාව ඇත්තේ වේද, ස්වල්පයක් නමුත් කියන ලද්දේ එහි ලැගේද, කිපේද, ප්‍රකෘතිය අත්හරීද, තද බවට පැමිණේද, කෝපයද, ද්වේෂයද, නොසතුටු ආකාරයද, පහළ කෙරේද, මහණෙනි, යම්සේ තිඹිරි පෙනෙල්ලක් දඬුකඩකින් හෝ කැබිලිත්තකින් හෝ ගටන ලද්දේ බොහෝ සෙයින්ම චිට් චිට් යන අනුකරණ ශබ්ද පවත්වාද, චිටි චිටි යන අනුකරණ ශබ්ද පවත්වාද, මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැඩි ආයාස බහුලකොට ඇත්තේ, ක්‍රෝධ කරණ ස්වභාව ඇත්තේ වේද, ස්වල්පයක් නමුත් කියන ලද්දේ එහි ලැගේද, කිපේද, ප්‍රකෘතිය අත්හරීද, තද බවට පැමිණේද, කෝපයද, ද්වේෂයද, නොසතුටු ආකාරයද, පහළ කෙරේද, මහණෙනි, යම්සේ අශුචි වලක් දඬුකඩකින් හෝ කැබිලිත්තකින් හෝ ගටනා ලද්දේ බොහෝ සෙයින්ම දුගඳ වේද? මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැඩි ආයාස බහුලකොට ඇත්තේ, ක්‍රෝධ කරණ ස්වභාව ඇත්තේ වේද, ස්වල්පයක් නමුත් කියන ලද්දේ එහි ලැගේද, කිපේද, ප්‍රකෘතිය අත්හරීද, තද බවට පැමිණේද, කෝපයද, ද්වේෂයද, නොසතුටු ආකාරයද, පහළ කෙරේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම මධ්‍යස්ථ කළ යුතුය. භජනය නොකළ යුතුය. ආශ්‍රය නොකළ යුතුය. ඊට හේතු කවරේද? ‘මට ආක්‍රෝශ කරන්නේයයි මට පිරිහෙළා බනින්නේයයිද, මට අනර්ත්‍ථයක් කරන් නේයයිද’ කියායි. එසේ හෙයින් මෙබඳු පුද්ගල තෙම මධ්‍යස්ථ කළ යුතුය. සේවනය නොකළ යුතුය. භජනය නොකළ යුතුය. ආශ්‍රය නොකළ යුතුය.