3. 1. 3. 5. අරුකූපම සූත්‍රය
25. “මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලෝකයේ ඇත්තාහු, විද්‍යමාන වන්නාහු වෙත්. කවර තුන් දෙනෙක්ද යත්. පරණ වනයක බඳු සිත් ඇති පුද්ගලයාද, විදුලි එළියකට බඳු සිත් ඇති පුද්ගලයාද, වජ්‍රයකට (දියමන්තියකට) බඳු සිත් ඇති පුද්ගලයාද වෙත්.
“මහණෙනි, පරණ වණයක බඳු සිත් ඇති පුද්ගලයා නම් කවරෙක්ද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ක්‍රොධ කරන්නේ වේද, ක්‍රෝධය බහුලකොට ඇත්තේ වේද, ස්වල්ප දෙයක් කියන ලද නමුත් ගැටෙන්නේද, කිපේද, ප්‍රකෘතිය අත්හරීද, තද බවට පැමිණේද, කෝපයත්, ද්වේෂයත්, නොසතුටු බවත් පහළ කෙරේද, යම්සේ වනාහි පුරාණ වණයක් දඬු කොණකින් හෝ කැබිලිත්තකින් හෝ ගටනා ලද්දී, බෙහෙවින්ම ලේ වගුරුවාද, මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක්, ක්‍රොධ කරණ ස්වභාව ඇත්තේද, ස්වල්පයක් කියන ලද්දේම එහි ලැගේද, කිපේද, ස්වභාවය අත්හරීද, තද බවට පැමිණේද, කෝපයද, ද්වේෂයද, නොසතුටු ආකාරයද පහළ කෙරේද, මහණෙනි, මේ පුරාණ වණයකට බඳු සිත් ඇති පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, විදුලියකට බඳු සිත් ඇති පුද්ගලයා කවරේද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් වැලකීමයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් වැලැක්මට යන ප්‍රතිපදාවයයි තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, යම්සේ වනාහි ඇස් ඇත්තාවූ පුරුෂයෙක් තෙම ඝනාන්‍ධකාර රාත්‍රියෙක්හි විදුලි එලියෙන් රූපයන් දක්නේ වේද, මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් වැලකීමයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් නිරෝධයට ප්‍රතිපදාවයයි තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, මේ විදුලියට සමාන සිත් ඇත්තාවූ පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, දියමන්තියකට බඳු සිත් ඇති පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයිද, මහණෙනි, වජ්‍රයට බිඳිය නොහැකිවූ කිසි මිණක් හෝ ගලක් හෝ නැත්තේ වේද, මහණෙනි, එසේම මේ ලෝක යෙහි ඇතැම් පුද්ගලයෙක් කෙලෙසුන්ගේ ක්‍ෂය වීමෙන්, ආශ්‍රව රහිග අර්‍හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද මේ ආත්මභාවයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ දියමන්තියකට බඳු සිත් ඇති පුද්ගලයායයි කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයන් තුන්දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වන්නාහු වෙත්.”
3. 1. 3. 6. නසේවිතබ්බ සූත්‍රය
26. “මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක්ද යත්. මහණෙනි, සෙවනය නොකට යුතුවූ, භජනය නොකළ යුතුවූ, ආශ්‍රය නොකළ යුතුවූ පුද්ගලයෙක් ඇත්තේය. මහණෙනි, සේවනය කළ යුතුවූ, භජනය කළ යුතුවූ, ආශ්‍රය කළ යුතුවූ පුද්ගලයෙක් ඇත්තේය. මහණෙනි, සත්කාරකොට, ගරුකොට සේවනය කළ යුතුවූ, භජනය කළ යුතුවූ, ආශ්‍රය කළ යුතුවූ පුද්ගලයෙක් ඇත්තේය.
“මහණෙනි, සෙවනය නොකළ යුතුවූ, භජනය නොකළ යුතුවූ, ආශ්‍රය නොකළ යුතුවූ පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ශීලයෙන් සිත එකඟ කිරීමෙන්ද, ප්‍රඥාවෙන්ද, තමන්ට වඩා පහත්ද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම කරුණාවෙන් විනා, අනුකම්පාවෙන් විනා සේවනය නොකළ යුතුය. භජනය නොකළ යුතුය. ආශ්‍රය නොකළ යුතුය.
“මහණෙනි, සේවනය කළ යුතු, භජනය කළ යුතු, ආශ්‍රය කළ යුතු පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ශීලයෙන්, සිත එකඟ කිරීමෙන්, ප්‍රඥාවෙන් තමන් හා සමාන වේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම සේවනය කළ යුතුය. භජනය කළ යුතුය. ආශ්‍රය කළ යුතුය. ඊට හේතු කවරේද? ශීලයෙන් සමානභාවයට ගියාවූම අපගේ ශීල කථාව වන්නේය. අපගේ ශීල කථාවද පවත්වන්නේය. අපට ඒ කථාවද පහසු වන්නේය. සිත එකඟ කිරීමෙන් සමානත්‍වයට ගියාවූම අපගේ සිත එකඟ කිරීම සම්බන්‍ධ කථාව වන්නේය. අපගේ සමාධි කථාවද පවත්වන්නේය. අපට ඒ කථාවද පහසු වන්නේය. ප්‍රඥාවෙන් සමානභාවයට ගියාවූම අපගේ ප්‍රඥා කථාව වන්නේය. අපගේ ප්‍රඥා කථාවද පවත්වන්නේය. අපට ඒ කථාවද පහසු වන්නේය. එසේ හෙයින් මෙබඳු පුද්ගල තෙම සේවනය කළ යුතුය. භජනය කළ යුතුය. ආශ්‍රය කළ යුතුය.
“මහණෙනි, සත්කාරකොට ගරුකොට සේවනය කළයුතු, භජනය කළයුතු, ආශ්‍රය කළයුතු පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ශීලයෙන්, සිත එකඟ කිරීමෙන්, ප්‍රඥාවෙන් තමන්ට වඩා උසස් වේද? මහණෙනි.මෙබඳු පුද්ගල තෙම සත්කාරකොට, ගරුකොට සේවනය කළ යුතුය. භජනය කළ යුතුය. ආශ්‍රය කළ යුතුය. ඊට හේතු කවරේද? ‘මෙසේ ආශ්‍රය කිරීමෙන් සම්පූර්‍ණ නොවූ හෝ ශීල රාශිය සම්පූර්‍ණ කරන්නෙමි. සම්පූර්‍ණ කරගත් ශීල රාශියට ඒ ඒ තන්හි උපකාර ධර්‍ම ආශ්‍රයෙන් ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි. සම්පූර්‍ණ නොවූ හෝ සමාධි රාශිය සම්පූර්‍ණ කරන්නෙමි. සම්පූර්‍ණවූ හෝ සමාධි රාශියට ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි. සම්පූර්‍ණ නොවූ හෝ ප්‍රඥා රාශිය සම්පූර්‍ණ කරන්නෙමි. සම්පූර්‍ණවූ හෝ ප්‍රඥා රාශියට ඒ ඒ තන්හි නුවණින් අනුබල දෙන්නෙමි’ යි කියායි. එසේ හෙයින් මෙබඳු පුද්ගල තෙම සත්කාරකොට, ගරුකොට සේවනය කළ යුතුය. භජනය කළ යුතුය. ආශ්‍රය කළ යුතුය. මහණෙනි, මේ පුද්ගලයන් තුන්දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
1. තමන්ට වඩා ගුණයෙන් හීනවූ පුද්ගලයන් සේවනය කරන්නාවූ පුරුෂතෙම පිරිහෙයි. තමන්ට සමාන ගුණ ඇති පුද්ගලයන් සේවනය කරන්නාවූ පුද්ගලයා නොපිරිහේ. ශ්‍රේෂ්ට පුද්ගලයන්ගේ ගතිගුණවලට නැමෙන පුද්ගලයා වහා ගුණයෙන් වැඩෙයි. එසේ හෙයින්, තමන්ට වඩා උතුම් කෙනෙකු ආශ්‍රය කරන්නේය’ යි වදාළසේක.