3. 1. 3. 4. බහුකාරපුග්ගල සූත්‍රය
24. “මහණෙනි, මේ (ආචාර්‍ය්‍ය) පුද්ගලයෝ තුන් දෙනෙක් අතවැසි පුද්ගලයාට බොහෝ උපකාර ඇත්තෝ වෙත්. මහණෙනි, අතවැසි පුද්ගලයෙක් තෙම යම් ආචාර්‍ය්‍ය පුද්ගලයෙක් වෙත පැමිණ බුදුන් සරණ ගියේ වේද, ධර්‍මය සරණ ගියේ වේද, සංඝයා සරණ ගියේ වේද, මහණෙනි, මේ ආචාර්‍ය්‍ය පුද්ගල තෙම මේ පුද්ගලයාට බොහෝ උපකාර ඇත්තේ වේ.
“මහණෙනි, නැවතද අනිකක් කියමි. අතවැසි පුද්ගලයෙක් තෙම යම් ආචාර්‍ය්‍ය පුද්ගලයෙකු කරා පැමිණ, මේ දුකයයි තතුසේ දැන ගණීද, මේ දුකට හේතුවයයි තතුසේ දැනගනීද, මේ දුක නැති කිරීමයයි තතුසේ දැනගනීද, මේ දුක නැති කිරීමේ මාර්‍ගයයයි තතුසේ දැනගනීද, මහණෙනි, මේ ආචාර්‍ය්‍ය පුද්ගල තෙම මේ පුද්ගලයාට බොහෝ උපකාර ඇත්තේ වේ.
“මහණෙනි, නැවතද අනිකක් කියමි. අතවැසි පුද්ගලයෙක් තෙම යම් ආචාර්‍ය්‍ය පුද්ගලයෙක් කරා පැමිණ, ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත චිත්ත විමුක්තියද ප්‍රඥා විමුක්තියද මෙලොවදීම තෙමේ විශිෂ්ට නුවණින් දැන සාක්‍ෂාත් කොට පැමිණ වාසය කරයිද; මහණෙනි, මේ ආචාර්‍ය්‍ය පුද්ගල තෙම මේ පුද්ගලයාට බොහෝ උපකාර ඇත්තේ වේ. මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙන පුද්ගලයාට බොහෝ උපකාර ඇත්තාහ.”
“මහණෙනි, මේ පුද්ගලයින් තුන් දෙනාට වඩා මේ පුද්ගලයාට අතිශයින් උපකාර ඇත්තාවූ අන්‍ය පුද්ගලයෙක් නැත්තේයයි කියමි. මහණෙනි, මේ පුද්ගලයන් තුන් දෙනාට මේ පුද්ගලයා විසින් යම් මේ වැඳීමය, නැගිටීමය, ඇඳිලිබැඳීමය, බුහුමන් කිරීමය, සිව්රුය, පිණ්ඩභෝජනය, සෙනසුන්ය, ගිලනුන්ට ප්‍රත්‍යවූ බෙහෙත් හා පිරිකරය, යන මේ දේ දීමෙන් ප්‍රත්‍යුපකාර කරන්ට නොහැකියි කියමි” යි වදාළ සේක.
3. 1. 3. 5. අරුකූපම සූත්‍රය
25. “මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලෝකයේ ඇත්තාහු, විද්‍යමාන වන්නාහු වෙත්. කවර තුන් දෙනෙක්ද යත්. පරණ වනයක බඳු සිත් ඇති පුද්ගලයාද, විදුලි එළියකට බඳු සිත් ඇති පුද්ගලයාද, වජ්‍රයකට (දියමන්තියකට) බඳු සිත් ඇති පුද්ගලයාද වෙත්.
“මහණෙනි, පරණ වණයක බඳු සිත් ඇති පුද්ගලයා නම් කවරෙක්ද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ක්‍රොධ කරන්නේ වේද, ක්‍රෝධය බහුලකොට ඇත්තේ වේද, ස්වල්ප දෙයක් කියන ලද නමුත් ගැටෙන්නේද, කිපේද, ප්‍රකෘතිය අත්හරීද, තද බවට පැමිණේද, කෝපයත්, ද්වේෂයත්, නොසතුටු බවත් පහළ කෙරේද, යම්සේ වනාහි පුරාණ වණයක් දඬු කොණකින් හෝ කැබිලිත්තකින් හෝ ගටනා ලද්දී, බෙහෙවින්ම ලේ වගුරුවාද, මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක්, ක්‍රොධ කරණ ස්වභාව ඇත්තේද, ස්වල්පයක් කියන ලද්දේම එහි ලැගේද, කිපේද, ස්වභාවය අත්හරීද, තද බවට පැමිණේද, කෝපයද, ද්වේෂයද, නොසතුටු ආකාරයද පහළ කෙරේද, මහණෙනි, මේ පුරාණ වණයකට බඳු සිත් ඇති පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, විදුලියකට බඳු සිත් ඇති පුද්ගලයා කවරේද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් වැලකීමයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් වැලැක්මට යන ප්‍රතිපදාවයයි තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, යම්සේ වනාහි ඇස් ඇත්තාවූ පුරුෂයෙක් තෙම ඝනාන්‍ධකාර රාත්‍රියෙක්හි විදුලි එලියෙන් රූපයන් දක්නේ වේද, මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් වැලකීමයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් නිරෝධයට ප්‍රතිපදාවයයි තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, මේ විදුලියට සමාන සිත් ඇත්තාවූ පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, දියමන්තියකට බඳු සිත් ඇති පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයිද, මහණෙනි, වජ්‍රයට බිඳිය නොහැකිවූ කිසි මිණක් හෝ ගලක් හෝ නැත්තේ වේද, මහණෙනි, එසේම මේ ලෝක යෙහි ඇතැම් පුද්ගලයෙක් කෙලෙසුන්ගේ ක්‍ෂය වීමෙන්, ආශ්‍රව රහිග අර්‍හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද මේ ආත්මභාවයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ දියමන්තියකට බඳු සිත් ඇති පුද්ගලයායයි කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයන් තුන්දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වන්නාහු වෙත්.”