3. 1. 3. 10. අවකුජ්ජපඤ්ඤ සූත්රය
30. “මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්යමාන වෙත්. කවර තුන් දෙනෙක්ද යත්, යටට නැමුණු නුවණ ඇති පුද්ගලයාය, ඔඩොක්කුවට සමාන නුවණ ඇති පුද්ගලයාය, පැතුරුණාවූ නුවණ ඇති පුද්ගලයාය යන තුන් දෙනයි.
“මහණෙනි, යටට නැමුණු ප්රඥා ඇති පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර භික්ෂූන්ගේ සමීපයෙහි ධර්මශ්රවණය පිණිස ආරාමයට යන්නේ වෙයි. ඔහුට භික්ෂූහු, මුල යහපත්වූද, මැද යහපත්වූද, අවසන යහපත්වූද, ධර්මය, අර්ත්ථ සහිතවූ, අක්ෂර ව්යඤ්ජන සහිතවූ, සියල්ලෙන් සම්පූර්ණවූ, බ්රහ්මචර්ය්යාව දේශනා කෙරෙද්ද, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ, ඒ කථාවෙහි මුල, මැද, අග මෙනෙහි නොකරයි. ඒ අස්නෙන් නැගිට්ටේ ද මෙනෙහි නොකරයි. “මහණෙනි, යම්සේ වනාහි යටිකුරුකොට තැබූ කලයක් වේද, එහි වත්කරණ ලද්දාවූ ජලය ඉවත වැටෙයිද, රඳා නොසිටීද, මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර භික්ෂූන්ගේ සමීපයෙහි ධර්මශ්රවණය පිණිස ආරාමයට යන්නේ වෙයි. ඔහුට භික්ෂූහු, මුල යහපත්වූද, මැද යහපත්වූද, අවසන යහපත්වූද, ධර්මය, අර්ත්ථ සහිතවූ, අක්ෂර ව්යඤ්ජන සහිතවූ, සියල්ලෙන් සම්පූර්ණවූ, බ්රහ්මචර්ය්යාව දේශනා කෙරෙද්ද, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ, ඒ කථාවෙහි මුල, මැද, අග මෙනෙහි නොකරයි ද, ඒ අස්නෙන් නැගිට්ටේ ද මෙනෙහි නොකරයි ද, මහණෙනි, මේ යටිකුරුවූ නුවණ ඇති පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, ඔඩොක්කුවට බඳු නුවණ ඇති පුද්ගලයා කවරේද, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර භික්ෂූන්ගේ සමීපයෙහි ධර්මශ්රවණය පිණිස ආරාමයට යන්නේ වෙයි. ඔහුට භික්ෂූහු, මුල යහපත්වූද, මැද යහපත්වූද, අවසන යහපත්වූද, ධර්මය, අර්ත්ථ සහිතවූ, අක්ෂර ව්යඤ්ජන සහිතවූ, සියල්ලෙන් සම්පූර්ණවූ, බ්රහ්මචර්ය්යාව දේශනා කෙරෙද්ද, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ, ඒ කථාවෙහි මුල, මැද, අග මෙනෙහි කරයි. ඒ අස්නෙන් නැගිට්ටේ මෙනෙහි නොකරයි. “මහණෙනි, යම්සේ පුරුෂයාගේ ඔඩොක්කුවෙහි තල, සහල්, අක්සුණු, ඩෙබර, යන නොයෙක් කැවිලි දාගන්නාහු වෙත්ද, හෙතෙම ඒ ආසනයෙන් සිහි මුළාවෙන් නැගිට්ටේ, සිහි මුළාවෙන් ඒ ඛාද්යාදිය විසිරෙන්නේය. මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර භික්ෂූන්ගේ සමීපයෙහි ධර්මශ්රවණය පිණිස ආරාමයට යන්නේ වෙයි. ඔහුට භික්ෂූහු, මුල යහපත්වූද, මැද යහපත්වූද, අවසන යහපත්වූද, ධර්මය, අර්ත්ථ සහිතවූ, අක්ෂර ව්යඤ්ජන සහිතවූ, සියල්ලෙන් සම්පූර්ණවූ, බ්රහ්මචර්ය්යාව දේශනා කෙරෙද්ද, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ, ඒ කථාවෙහි මුල, මැද, අග මෙනෙහි කරයි ද, ඒ අස්නෙන් නැගිට්ටේ මෙනෙහි නොකරයි ද, මහණෙනි, මේ ඔඩොක්කුවට බඳු ප්රඥා ඇත්තාවූ පුද්ගලයායි.
“මහණෙනි, පැතුරුණාවූ ප්රඥා ඇති පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර භික්ෂූන්ගේ සමීපයෙහි ධර්මශ්රවණය පිණිස ආරාමයට යන්නේ වෙයි. ඔහුට භික්ෂූහු, මුල යහපත්වූද, මැද යහපත්වූද, අවසන යහපත්වූද, ධර්මය, අර්ත්ථ සහිතවූ, අක්ෂර ව්යඤ්ජන සහිතවූ, සියල්ලෙන් සම්පූර්ණවූ, බ්රහ්මචර්ය්යාව දේශනා කෙරෙද්ද, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ, ඒ කථාවෙහි මුල, මැද, අග මෙනෙහි කරයි. ඒ අස්නෙන් නැගිට්ටේ ද මෙනෙහි කරයි. “මහණෙනි, යම්සේ කලයක් මුව උඩුකුරුකොට තබන ලද්දේ, එහි වත්කරණලද ජලය රැඳී සිටීද, නොවැගිරේද, මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර භික්ෂූන්ගේ සමීපයෙහි ධර්මශ්රවණය පිණිස ආරාමයට යන්නේ වෙයි. ඔහුට භික්ෂූහු, මුල යහපත්වූද, මැද යහපත්වූද, අවසානය යහපත්වූද, ධර්මය, අර්ත්ථ සහිතවූ, අක්ෂර ව්යඤ්ජන සහිතවූ, සියල්ලෙන් සම්පූර්ණවූ, බ්රහ්මචර්ය්යාව දේශනා කෙරෙද්ද, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ, ඒ කථාවෙහි මුල, මැද, අග මෙනෙහි කරයි ද, ඒ අස්නෙන් නැගිට්ටේ ද මෙනෙහි කරයි ද, මහණෙනි, මේ පැතුරුණාවූ ප්රඥා ඇති පුද්ගලයායයි කියණු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයන් තුන් දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්යමාන වෙත්.
9. “නුවණ නැත්තාවූ, විචක්ෂණ නොවූ, යටිකුරු කළ ප්රඥා ඇත්තාවූ, පුරුෂ තෙම, ඉදින් නිතරද භික්ෂූන් වෙත යන්නේ වේද,
10. “එබඳුවූ පුරුෂතෙම ධර්ම කථාවෙහි මුලද, මැදද, අගද ඉගෙනීමට නොහැකිවේ. ඔහුට නුවණ නැත.
11. “ඇකයට, (ඔඩොක්කුවට) සමාන ප්රඥාව ඇත්තාවූ පුරුෂතෙම මොහුට වඩා (යටිකුරු ප්රඥා ඇත්තහුට වඩා) උතුම්යයි කියණු ලැබේ. ඉදින් භික්ෂූන් වෙත නිරතුරුද යන්නේ වේද,
12. “එබඳුවූ පුරුෂතෙම ධර්ම කථාවෙහි මුලද, මැදද, අගද, එම අස්නෙහි හුන්නේ, ඉගෙන (එම අස්නෙන්) නැගී සිටියේ නොදනී. ඔහු විසින් ඉගෙන ගන්නා ලද්දද වැනසේ.
13. “පැතුරුණු ප්රඥාව ඇති පුරුෂතෙම මොවුන් දෙදෙනාට වඩා ශ්රේෂ්ඨයයි කියනු ලැබේ. ඉදින් භික්ෂූන් වෙත යන්නේ වේද,
14. “එබඳුවූ පුරුෂතෙම ඒ ආසනයෙහි සිට ඒ බණෙහි මුලද, මැදද, අගද උගෙණ ව්යඤ්ජන පද ග්රහණය කරයි.
15. “(එය) දරයි. උතුම් අදහස් ඇත්තාවූ, සැක නොකළයුතු සිත් ඇත්තාවූ මනුෂ්යතෙම ධර්මානුධර්ම ප්රතිපන්නවූයේ, දුක් කෙළවර කරන්නෙක් වන්නේය.”
පුග්ගලවග්ගො තතියො.