3. 1. 3. 1. සමිද්‍ධ (හෝ) සවිට්ඨ සූත්‍රය
21. “ඉක්බිත්තෙන් වනාහි ආයුෂ්මත්වූ සවිට්ඨ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිර තෙමේද, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියාහ. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම සමග සතුටු වූහ. සතුටුවිය යුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එක් පැත්තක උන්නෝය. එක්මන්තක උන්නාවූ ආයුෂ්මත් සවිට්ඨ ස්ථවිරයන්ට ආයුෂ්මත් ශාරීපුත්ත ස්ථවිර තෙම මෙසේ ඇසීය.
“ඇවැත්නි, සවිට්ඨය, ලෝකයෙහි මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ඇත්තාහු, විද්‍යමාන වන්නාහු වෙත්. කවර තුන් දෙනෙක්ද: කාය සක්ඛි පුද්ගලයාය, දිට්ඨිප්පත්ත පුද්ගලයාය, සද්‍ධාවිමුත්ත පුද්ගලයාය. ඇවැත්නි, ලෝකයෙහි මේ පුද්ගලයෝ තුන්දෙන ඇත්තාහු, විද්‍යමාන වන්නාහු වෙත්. ඇවැත්නි, මේ පුද්ගලයන් තුන්දෙනා අතුරෙන් කවර පුද්ගලයෙක් ඔබට කැමති වන්නේද, අභික්කන්තතර වන්නේද, ප්‍රණීතතර වන්නේද?”
“ඇවැත්නි සාරිපුත්තය, ලෝකයෙහි මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ඇත්තාහු, විද්‍යමාන වන්නාහු වෙත්. කවර තුන් දෙනෙක්ද: කාය සක්ඛි පුද්ගලයාය, දිට්ඨිප්පත්ත පුද්ගලයාය, සද්‍ධාවිමුත්ත පුද්ගලයාය. ඇවැත්නි, මේ පුද්ගලයන් තුන්දෙනා අතුරෙන් යම් මේ පුද්ගලයෙක් තෙම සද්ධාවිමුත්ත නම් වේද, මේ පුද්ගල තෙම මට කැමැත්තේ වෙයි. මේ පුද්ගලයන් තුන්දෙනා අතුරෙන් අභික්කන්තතරද ප්‍රණීතතරද වෙයි. ඊට හේතු කවරේද? ඇවැත්නි, මේ පුද්ගලයාගේ ශ්‍රද්ධෙන්‍ද්‍රිය අධික වෙයි.”
“ඉක්බිති ආයුෂමත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන්ට මෙය ප්‍රකාශ කෙළේය. ඇවැත්නි කොට්ඨිත, ලෝකයෙහි මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ඇත්තාහු, විද්‍යමාන වන්නාහු වෙත්. කවර තුන් දෙනෙක්ද: කාය සක්ඛි පුද්ගලයාය, දිට්ඨිප්පත්ත පුද්ගලයාය, සද්‍ධාවිමුත්ත පුද්ගලයාය. ඇවැත්නි, ලෝකයෙහි මේ පුද්ගලයෝ තුන්දෙන ඇත්තාහු, විද්‍යමාන වන්නාහු වෙත්. ඇවැත්නි, මේ පුද්ගලයන් තුන්දෙනා අතුරෙන් කවර පුද්ගලයෙක් ඔබට කැමති වන්නේද, අභික්කන්තතර වන්නේද, ප්‍රණීතතර වන්නේද?”
“ඇවැත්නි සාරිපුත්ත, ලෝකයෙහි මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ඇත්තාහු, විද්‍යමාන වන්නාහු වෙත්. කවර තුන් දෙනෙක්ද: කාය සක්ඛි පුද්ගලයාය, දිට්ඨිප්පත්ත පුද්ගලයාය, සද්‍ධාවිමුත්ත පුද්ගලයාය. ඇවැත්නි, ලෝකයෙහි මේ පුද්ගලයෝ තුන්දෙන ඇත්තාහු, විද්‍යමාන වන්නාහු වෙත්. ඇවැත්නි, මේ පුද්ගලයන් තුන්දෙනා අතුරෙන් යම් මේ පුද්ගලයෙක් තෙම කායසක්ඛි නම් වේද, ඒ පුද්ගල තෙම මට කැමැත්තේ වෙයි. මේ පුද්ගලයන් තුන්දෙනා අතුරෙන් අභික්කන්තතරද ප්‍රණීතතරද වෙයි. ඊට හේතු කවරේද? ඇවැත්නි, මේ පුද්ගලයාගේ සමාධින්‍ද්‍රිය අධික වෙයි.”
“ඉක්බිති ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිර තෙම ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන්ට මෙය ප්‍රකාශ කෙළේය. ඇවැත්නි සාරිපුත්ත, ලෝකයෙහි මේ පුද්ගලයන් තුන් දෙනෙක් ඇත්තාහු, විද්‍යමාන වන්නාහු වෙත්. කවර තුන් දෙනෙක්ද: කාය සක්ඛි පුද්ගලයාය, දිට්ඨිප්පත්ත පුද්ගලයාය, සද්‍ධාවිමුත්ත පුද්ගලයාය. ඇවැත්නි, ලෝකයෙහි මේ පුද්ගලයෝ තුන්දෙන ඇත්තාහු, විද්‍යමාන වන්නාහු වෙත්. ඇවැත්නි, මේ පුද්ගලයන් තුන්දෙනා අතුරෙන් කවර පුද්ගලයෙක් ඔබට කැමති වන්නේද, අභික්කන්තතර වන්නේද, ප්‍රණීතතර වන්නේද?”
“ඇවැත්නි කොට්ඨිත, ලෝකයෙහි මේ පුද්ගලයන් තුන් දෙනෙක් ඇත්තාහු, විද්‍යමාන වන්නාහු වෙත්. කවර තුන් දෙනෙක්ද: කාය සක්ඛි පුද්ගලයාය, දිට්ඨිප්පත්ත පුද්ගලයාය, සද්‍ධාවිමුත්ත පුද්ගලයාය. ඇවැත්නි, ලෝකයෙහි මේ පුද්ගලයෝ තුන්දෙන ඇත්තාහු, විද්‍යමාන වන්නාහු වෙත්. යම් මේ පුද්ගලයෙක් තෙම දිට්ඨිප්පත්ත නම් වේද, ඒ පුද්ගල තෙම මට කැමැත්තේ වෙයි. මේ පුද්ගලයන් තුන්දෙනා අතුරෙන් අභික්කන්තතරද ප්‍රණීතතරද වෙයි. ඊට හේතු කවරේද? ඇවැත්නි, මේ පුද්ගලයාගේ ප්‍රඥෙන්‍ද්‍රිය අධික වෙයි.”
“යලිදු ආයුෂමත්වූ ශාරීපුත්‍ර ස්ථවිර තෙම ආයුෂමත් සවිට්ඨ ස්ථවිරයන්ටද, ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන්ටද, මෙසේ ප්‍රකාශ කෙළේය. ‘ඇවැත්නි, අප හැම දෙනා විසින්ම ස්වකීය වැටහීම යම්සේ නම් එසේ ප්‍රකාශ කරණ ලද්දේ මය. ඇවැත්නි යමු. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණෙන්නෙමු. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කියන්නෙමු. භාග්‍යවතුන් වහන්සේ අපට යම්සේ ප්‍රකාශ කරණ සේක්ද, එසේ දරන්නෙමු’ යි කියායි.”
“ඇවැත්නි, එසේය” යි කියා ආයුෂ්මත් සවිට්ඨ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිර තෙමේද, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ හට පිළිතුරු දුන්හ. ඉක්බිති ශාරීපුත්‍ර ස්ථවිර තෙමේද, ආයුෂමත් සවිට්ඨ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිර තෙමේද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියෝය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නෝය. එක් පසෙ හුන්නාවූ ආය්ෂමත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම, ආයුෂ්මත් සවිට්ඨ ස්ථවිරයන් සමගද, ආයුෂමත් මහා කොට්ඨිත ස්ථවිරයන් සමගද, කථා සල්ලාපය යම් පමණවීද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේය.
“ශාරීපුත්‍රය, මේ පුද්ගලයන් තුන්දෙනා අතුරෙන් අතිශයින් යහපත්ය කියාද, අතිශයින් ප්‍රණීතයයි කියාද, මෙහි ඒකාන්තයෙන් ප්‍රකාශ කිරීම පහසු නොවේමය. ශාරීපුත්‍රය, මේ කාරණය වනාහි විද්‍යමානවේ. කුමක්ද? යම් මේ පුද්ගලයෙක් තෙම ශ්‍රද්‍ධාවිමුත්ත වේද, හෙතෙම රහත් හෝ වන්නේය. රහත් බැව් පිණිස පිළිපන්නේ හෝ වන්නේය. යම් මේ පුද්ගලයෙක් තෙම කායසක්ඛි නම් වේද, හෙතෙම සකෘදාගාමි හෝ වන්නේය. අනාගාමී හෝ වන්නේය. යම් මේ පුද්ගලයෙක් දිට්ඨිප්පත්ත නම් වේද, හෙතෙමේ සකෘදාගාමී හෝ වන්නේය. අනාගාමී හෝ වන්නේය. ශාරීපුත්‍රය, මේ තෙමේ මේ පුද්ගලයන් අතුරෙන් අතිශයින් යහපත්යයි කියාද, අතිශයින් ප්‍රණීතයයි කියාද, ඒකාන්තයෙන් ප්‍රකාශ කරන්නට පහසු නොවේ.”
“ශාරීපුත්‍රය, මේ කාරණය වනාහි විද්‍යමාන වේ. යම් මේ පුද්ගලයෙක් කායසක්ඛී වේද, හෙතෙම රහතන් වහන්සේ නමක් හෝ රහත් මගට පිළිපන්නේ හෝ වේ. යම් මේ පුද්ගලයෙක් ශ්‍රද්‍ධාවිමුත්තද, හෙතෙම සකෘදාගාමී හෝ අනාගාමී හෝ වන්නේය. යම් මේ පුද්ගලයෙක් දිට්ඨිප්පත්තද, හෙතෙමේද සකෘදාගාමී හෝ අනාගාමී හෝ වන්නේය. ශාරීපුත්‍රය, මෙහි මේ පුද්ගලයන් තුන්දෙනා අතුරෙන් මේ තෙමේ අතිශයින් යහපත්යයි කියාද, අතිශයින් ප්‍රණීතයයි කියාද, ඒකාන්තයෙන් ප්‍රකාශ කිරිමට අපහසුය.”
“ශාරීපුත්‍රය, මේ කාරණය විද්‍යමාන වේ. යම් මේ පුද්ගලයෙක් දිට්ඨිප්පත්තද, හෙතෙමේ රහත් හෝ රහත් මාර්‍ගයට පිළිපන්නේ හෝ වන්නේය. යම් මේ පුද්ගලයෙක් ශ්‍රද්‍ධාවිමුත්තද, හෙතෙම සකෘදාගාමී හෝ අනාගාමී හෝ වන්නේය. යම් මේ පුද්ගලයෙක් කායසක්ඛිද, හෙතෙමේද සකෘදාගාමී හෝ අනාගාමී හෝ වන්නේය. ශාරීපුත්‍රය, මේ තෙමේ මේ තුන් පුද්ගලයන්ගෙන් අතිශයින් යහපත්යයි කියාද, ප්‍රණීතයයි කියාද, ඒකාන්තයෙන් ප්‍රකාශ කිරිමට පහසු නොවේය.”