3. 1. 3. 2. ගිලානොපම සූත්‍රය
22. “මහණෙනි, මේ ගිලනුන් තුන් දෙනෙක් ලෝකයෙහි ඇත්තාහු, විද්‍යමාන වන්නාහු වෙත්. කවර තුන් දෙනෙක්ද යත්, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ගිලනෙක් තෙම හිතවූ භෝජන ලබන්නේ හෝ, හිතවූ භෝජන නොලබන්නේ හෝ, හිතවූ බෙහෙතක් ලබන්නේ හෝ, හිතවූ බෙහෙතක් නොලබන්නේ හෝ, සුදුසු සාත්තුකාරයකු ලබන්නේ හෝ, සුදුසු සාත්තුකාරයකු නොලබන්නේ හෝ ඒ ආබාධයෙන් නොම නැගිටී.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ගිලනෙක් තෙම හිතවූ භෝජන ලබන්නේ හෝ, හිතවූ භෝජන නොලබන්නේ හෝ, හිතවූ බෙහෙතක් ලබන්නේ හෝ, හිතවූ බෙහෙතක් නොලබන්නේ හෝ, සුදුසු සාත්තුකාරයකු ලබන්නේ හෝ, සුදුසු සාත්තුකාරයකු නොලබන්නේ හෝ ඒ රෝගයෙන් නැගිටී.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ගිලනෙක් හිතවූ බොජුන් නොලබා නොව ලැබීමෙන්ම, හිතවූ ආහාර නොලබන්නෙක් නොවන්නේම, හිතවූ බෙහෙත් නොලබා නොව ලබාම සුදුසු සාත්තුකාරයකු නොමලබාම ඒ රෝගයෙන් නැගිටී.
“මහණෙනි, එහි යම් මේ ගිලනෙක් තෙම හිතවූ භෝජනයන් ලබන්නේම, නොලබන්නෙක් නොවන්නේම, හිතවූ බෙහෙත් නොලබන්නෙක්ව ලබන්නේව, සුදුසු සාත්තුකාරයකු නොලබා නොමලැබෙන්නේව, ඒ රෝගයෙන් නැගිටී. මහණෙනි, මේ ගිලනා නිසා ගිලන්බත අනුදන්නා ලදී. ගිලාන උපස්ථායකයෙක් අනුදන්නා ලදී. මහණෙනි, මේ ගිලනා නිසා සෙසු ගිලන්නුද උපස්ථාන කළ යුත්තාහ. මහණෙනි, මේ ගිලන්නු තුන්දෙන ලෝකයෙහි ඇත්තාහු, විද්‍යමාන වන්නාහු වෙත්.
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි ගිලනුන් උපමා කොට ඇත්තාවූ මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වන්නාහ. කවර තුන්දෙනෙක්ද යත්. මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම තථාගතයන් වහන්සේ දැකීමට ලබන්නේ හෝ, තථාගතයන් වහන්සේ දැකීමට නොලබන්නේ හෝ තථාගතයන් විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනය ඇසීමට ලබන්නේ හෝ තථාගතයන් විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනය ඇසීමට නොලබන්නේ හෝ කුසල ධර්‍මයන්හි මාර්‍ග නියාමයයි කියන ලද්දාවූ සම්‍යග් භාවයට නොපැමිණෙයි.
“මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම තථාගතයන් වහන්සේ දැකීමට ලබන්නේ හෝ, තථාගතයන් වහන්සේ දැකීමට නොලබන්නේ හෝ තථාගතයන් විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනය ඇසීමට ලබන්නේ හෝ තථාගතයන් විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනය ඇසීමට නොලබන්නේ හෝ කුසල ධර්‍මයන්හි මාර්‍ග නියාමයයි කියන ලද්දාවූ සම්‍යග් භාවයට පැමිණෙයි.
“මහණෙනි, මේ සස්නෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තෙම තථාගතයන් දැකීමට ලබන්නේම නොලබන්නේ හෝ, තථාගතයන් විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනය ඇසීමට ලබන්නේම නොලබන්නේ හෝ කුසල ධර්‍මයන්හි මාර්‍ග නියාමයයි කියන ලද්දාවූ සම්‍යග් භාවයට පැමිණෙයි.
“මහණෙනි, මේ සස්නෙහි වනාහි යම් පුද්ගලයෙක් තෙම තථාගතයන් දැකීමට ලබන්නේම නොලබන්නේ හෝ, තථාගතයන් විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනය ඇසීමට ලබන්නේම නොලබන්නේ හෝ කුසල ධර්‍මයන්හි මාර්‍ග නියාමයයි කියන ලද්දාවූ සම්‍යග් භාවයට පැමිණෙයි. මහණෙනි, මේ පුද්ගලයා නිසා ධර්‍ම දේශනාව අනුදන්නා ලදී. මහණෙනි, මේ පුද්ගලයා නිසා අන්‍යයන්ටද ධර්‍මය දේශනා කළ යුත්තේය. මහණෙනි, මේ ගිලන්හු තුන්දෙන ලෝකයෙහි ඇත්තාහු, විද්‍යමාන වෙත්ය” යි වදාළ සේක.
3. 1. 3. 3. අභිසංකරණ සූත්‍රය
23. “මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම දුක් සහිතවූ කාය කර්මය රැස් කෙරෙයි. දුක් සහිතවූ වාක් කර්මය රැස් කරයි. දුක් සහිතවූ මනො කර්මය රැස් කරයි. හෙතෙම දුක් සහිතවූ කාය කර්මය රැස් කොට, දුක් සහිතවූ වාග් කර්මය රැස්කොට, දුක් සහිතවූ මනො කර්මය රැස්කොට, දුක් සහිතවූ ලෝකයෙහි උපදී. දුක් සහිතවූ ලෝකයෙහි උපන්නාවු ඒ ඔහු දුක් සහිතවූ ස්පර්‍ශයෝ ස්පර්ශ කෙරෙත්. හෙතෙම දුක් සහිතවූ ස්පර්‍ශවලින් ස්පර්‍ශ කරණ ලද්දේම දුක් සහිතවූ, ඒකාන්තයෙන් දුක්වූ වේදනාව විඳී. නරකයෙහි සත්ත්‍වයෝ යම්සේ නම් එසේමයි.”
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම දුක් රහිතවූ කාය කර්මය රැස් කෙරෙයි. දුක් රහිතවූ වාක් කර්මය රැස් කරයි. දුක් රහිතවූ මනො කර්මය රැස් කරයි. හෙතෙම දුක් රහිතවූ කාය කර්ම රැස් කොට, දුක් රහිතවූ වාග් කර්ම රැස්කොට, දුක් රහිතවූ මනො කර්ම රැස්කොට, දුක් රහිතවූ ලෝකයෙහි උපදී. දුක් රහිතවූ ලෝකයෙහි උපන්නාවු ඒ ඔහු දුක් රහිතවූ ස්පර්‍ශයෝ ස්පර්ශ කෙරෙත්. හෙතෙම දුක් රහිතවූ ස්පර්‍ශවලින් ස්පර්‍ශ කරණ ලද්දේම දුක් රහිතවූ, ඒකාන්තයෙන් සැපවූ වේදනාව විඳී. සුභකිණ්ණ නම් බඹලොව වැසි දෙවියෝ යම්සේ නම් එසේයි.”
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම දුක් සහිතවූද, දුක් රහිතවූද කාය කර්මය රැස් කෙරෙයි. දුක් සහිතවූද, දුක් රහිතවූද වාක් කර්මය රැස් කරයි. දුක් සහිතවූද, දුක් රහිතවූද මනො කර්මය රැස් කරයි. හෙතෙම දුක් සහිතවූද, දුක් රහිතවූද කාය කර්මය රැස් කොට, දුක් සහිතවූද, දුක් රහිතවූද වාග් කර්මය රැස්කොට, දුක් සහිතවූද, දුක් රහිතවූද මනො කර්මය රැස්කොට, දුක් සහිතවූද, දුක් රහිතවූද ලෝකයෙහි උපදී. දුක් සහිතවූද, දුක් රහිතවූද ලෝකයෙහි උපන්නාවු ඒ ඔහු දුක් සහිතවූද, දුක් රහිතවූද ස්පර්‍ශයෝ ස්පර්ශ කෙරෙත්. හෙතෙම දුක් සහිතවූද, දුක් රහිතවූද ස්පර්‍ශවලින් ස්පර්‍ශ කරණ ලද්දේම දුක් සහිතවූද, දුක් රහිතවූද මිශ්‍රවූ සැප දුක් ඇත්තාවූ වේදනාව විඳී. මනුෂ්‍යයෝද, සමහර කාමාවචර දෙවියෝද, ඇතැම් වෛමානික ප්‍රේතයෝද යම්සේ නම් එසේයි.”
3. 1. 3. 4. බහුකාරපුග්ගල සූත්‍රය
24. “මහණෙනි, මේ (ආචාර්‍ය්‍ය) පුද්ගලයෝ තුන් දෙනෙක් අතවැසි පුද්ගලයාට බොහෝ උපකාර ඇත්තෝ වෙත්. මහණෙනි, අතවැසි පුද්ගලයෙක් තෙම යම් ආචාර්‍ය්‍ය පුද්ගලයෙක් වෙත පැමිණ බුදුන් සරණ ගියේ වේද, ධර්‍මය සරණ ගියේ වේද, සංඝයා සරණ ගියේ වේද, මහණෙනි, මේ ආචාර්‍ය්‍ය පුද්ගල තෙම මේ පුද්ගලයාට බොහෝ උපකාර ඇත්තේ වේ.
“මහණෙනි, නැවතද අනිකක් කියමි. අතවැසි පුද්ගලයෙක් තෙම යම් ආචාර්‍ය්‍ය පුද්ගලයෙකු කරා පැමිණ, මේ දුකයයි තතුසේ දැන ගණීද, මේ දුකට හේතුවයයි තතුසේ දැනගනීද, මේ දුක නැති කිරීමයයි තතුසේ දැනගනීද, මේ දුක නැති කිරීමේ මාර්‍ගයයයි තතුසේ දැනගනීද, මහණෙනි, මේ ආචාර්‍ය්‍ය පුද්ගල තෙම මේ පුද්ගලයාට බොහෝ උපකාර ඇත්තේ වේ.