3. බාලලක්ඛණ සූත්රය
3. “මහණෙනි, බාලයාගේ බාල ලක්ෂණ බාලයායයි දැනගැනීමට කරුණු බාල චරිත තුනක් වෙත්. කවර තුනක්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි බාල තෙම නපුරු සිතක්ම සිතන්නේ වෙයි. නපුරු වචනයක්ම කියන්නේ වෙයි. නපුරු ක්රියාවක්ම කරන්නේ වෙයි. “මහණෙනි, මේ බාලතෙම ඉදින් නපුරු සිතක් නොසිතන්නේත් වේ නම්, නපුරු වචන නොකියන්නේත් වේ නම්, නපුරු ක්රියා නොකරන්නේත් වේ නම්, පණ්ඩිතයෝ ඔහු මේ පිනවත් තෙමේ බාලයෙක, අසත්පුරුෂයෙකැයි කිනම් කරුණකින් දැනගන්නාහුද. “මහණෙනි, යම් හෙයකින් වනාහි බාල තෙම නපුරු සිතක්ම සිතන්නේ වෙයිද, නපුරු වචනයක්ම කියන්නේ වෙයිද, නපුරු ක්රියාවක්ම කරන්නේ වෙයිද, එහෙයින් පණ්ඩිතයෝ ඔහු මේ පින්වත් තෙමේ බාලයෙක පණ්ඩිතයෙකැයි දැනගන්නාහුය. මහණෙනි, මොහු වනාහි බාලයාගේ බාල ලක්ෂණ, බාල කරුණු, බාල චරිතයෝ වෙත්ය” යි වදාළ සේක.
“මහණෙනි, පණ්ඩිතයාගේ පණ්ඩිත ලක්ෂණ, පණ්ඩිත කරුණු, පණ්ඩිත චරිත තුනක් වෙති. කවර තුනක්ද? මහණෙනි, මේ ලෝකයෙහි පණ්ඩිත තෙම යහපත් සිතක්ම සිතන්නේ වෙයි. යහපත් වචනයක්ම කියන්නේ වෙයි. යහපත් ක්රියාවක්ම කරන්නේ වෙයි. මහණෙනි, ඉදින්, පණ්ඩිත තෙමේ යහපත් සිතක්ම සිතන්නේත්, යහපත් වචනයක්ම කියන්නේත්, යහපත් ක්රියාවක්ම කරන්නේත් නොවේ නම් පණ්ඩිතයෝ ඔහු මේ පින්වත් තෙමේ පණ්ඩිතයෙක, සත්පුරුෂයෙකැයි කුමකින් දැනගන්නාහුද, “මහණෙනි, යම් හෙයකින් පණ්ඩිත තෙමේ යහපත් සිතක්ම සිතන්නේ වේද, යහපත් වචනයක්ම කියන්නේ වේද, යහපත් ක්රියාවක්ම කරන්නේ වේද, එහෙයින් ඥානවන්තයෝ මේ පින්වත් තෙමේ පණ්ඩිතයෙක, සත්පුරුෂයෙකැයි දැනගනිත්. මහණෙනි, මොහු පණ්ඩිතයාගේ පණ්ඩිත ලක්ෂණ, පණ්ඩිත කරුණු, පණ්ඩිත චරිත වෙත්.. “මහණෙනි, එහෙයින් ධර්ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්ම තුන දුරුකොට යම් ධර්ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.
4. අච්චය පටිකරණ සූත්රය
4. “මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි. කවර තුනකින්ද? “වරද, වරද වශයෙන් නොදකියිද, වරද, වරද වශයෙන් දැක ධර්මයවූ පරිද්දෙන් පිළියම් නොකරයිද, අනිකෙකු වරද ප්රකාශකළ කල්හි ධර්මයවූ පරිද්දෙන් නොපිළිගනියිද, මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි.
“මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලතෙමේ පණ්ඩිතයායයි දත යුතුයි. කවර තුනකින්ද යත්? වරද, වරද වශයෙන් දකියිද, වරද, වරද වශයෙන් දැක ධර්මයවූ පරිද්දෙන් පිළියම් කරයිද, අනිකෙකු වරද ප්රකාශකළ කල්හි ධර්මයවූ පරිද්දෙන් පිළිගනියිද, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතු. “මහණෙනි, එහෙයින් ධර්ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්ම තුන දුරුකොට යම් ධර්ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.
5. අයොනිසොපඤ්හ සූත්රය
5. “මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි. කවර තුනකින්ද? “නුනුවණින් ප්රශ්න අසන්නේ වේද, නුනුවණින් ප්රශ්න විසඳන්නේ වේද, අනිකෙකු විසින් නුවණින්, අන්ර්ථයෙන් හා කාරණයෙන් යුක්තවූ, සිලුටුවූ පද ව්යඤ්ජනයන්ගෙන් විසඳන ලද ප්රශ්න සතුටින් පිළිනොගන්නේ වෙයිද, මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගල තෙම බාලයායයි දත යුතු.
“මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතුය. කිනම් කරුණු තුනකින්ද? මහණෙනි, නුවණින් ප්රශ්න අසන්නේ වෙයිද, නුවණින් ප්රශ්න විසඳන්නේ වෙයිද, අනිකෙකු විසින් නුවණින්, අන්ර්ථයෙන් හා කාරණයෙන් යුත්, සිලුටු පද ව්යඤ්ජනයන්ගෙන් විසඳන ලද ප්රශ්න සතුටින් පිළිගන්නේ වෙයිද, මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතුය. “මහණෙනි, එහෙයින් ධර්ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්ම තුන දුරුකොට යම් ධර්ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.
6. අකුශල කම්ම සූත්රය
6. “මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි. කවර තුනකින්ද? “අකුශල කාය කර්මයෙන්ද, අකුශල වාක් කර්මයෙන්ද, අකුශල මනො කර්මයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි.
“මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතුයි. කවර තුනකින්ද ? කුශල කාය කර්මයෙන්ද, කුශල වාක් කර්මයෙන්ද, කුශල මනො කර්මයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතු. “මහණෙනි, එහෙයින් ධර්ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්ම තුන දුරුකොට යම් ධර්ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.
7. සාවජ්ජ කම්ම සූත්රය
7. “මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි. කවර තුනකින්ද? “වරද සහිත කාය කර්මයෙන්ද, වරද සහිත වාක් කර්මයෙන්ද, වරද සහිත මනො කර්මයෙන්ද වෙයි. මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි.
“මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතුයි. කවර තුනකින්ද ? නිරවද්ය කාය කර්මයෙන්ද, නිරවද්ය වාක් කර්මයෙන්ද, නරවද්ය මනො කර්මයෙන්ද වෙයි. මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතු. “මහණෙනි, එහෙයින් ධර්ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්ම තුන දුරුකොට යම් ධර්ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.