4. අච්චය පටිකරණ සූත්රය
4. “මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි. කවර තුනකින්ද? “වරද, වරද වශයෙන් නොදකියිද, වරද, වරද වශයෙන් දැක ධර්මයවූ පරිද්දෙන් පිළියම් නොකරයිද, අනිකෙකු වරද ප්රකාශකළ කල්හි ධර්මයවූ පරිද්දෙන් නොපිළිගනියිද, මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි.
“මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලතෙමේ පණ්ඩිතයායයි දත යුතුයි. කවර තුනකින්ද යත්? වරද, වරද වශයෙන් දකියිද, වරද, වරද වශයෙන් දැක ධර්මයවූ පරිද්දෙන් පිළියම් කරයිද, අනිකෙකු වරද ප්රකාශකළ කල්හි ධර්මයවූ පරිද්දෙන් පිළිගනියිද, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතු. “මහණෙනි, එහෙයින් ධර්ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්ම තුන දුරුකොට යම් ධර්ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.
5. අයොනිසොපඤ්හ සූත්රය
5. “මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි. කවර තුනකින්ද? “නුනුවණින් ප්රශ්න අසන්නේ වේද, නුනුවණින් ප්රශ්න විසඳන්නේ වේද, අනිකෙකු විසින් නුවණින්, අන්ර්ථයෙන් හා කාරණයෙන් යුක්තවූ, සිලුටුවූ පද ව්යඤ්ජනයන්ගෙන් විසඳන ලද ප්රශ්න සතුටින් පිළිනොගන්නේ වෙයිද, මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගල තෙම බාලයායයි දත යුතු.
“මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතුය. කිනම් කරුණු තුනකින්ද? මහණෙනි, නුවණින් ප්රශ්න අසන්නේ වෙයිද, නුවණින් ප්රශ්න විසඳන්නේ වෙයිද, අනිකෙකු විසින් නුවණින්, අන්ර්ථයෙන් හා කාරණයෙන් යුත්, සිලුටු පද ව්යඤ්ජනයන්ගෙන් විසඳන ලද ප්රශ්න සතුටින් පිළිගන්නේ වෙයිද, මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතුය. “මහණෙනි, එහෙයින් ධර්ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්ම තුන දුරුකොට යම් ධර්ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.
6. අකුශල කම්ම සූත්රය
6. “මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි. කවර තුනකින්ද? “අකුශල කාය කර්මයෙන්ද, අකුශල වාක් කර්මයෙන්ද, අකුශල මනො කර්මයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි.
“මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතුයි. කවර තුනකින්ද ? කුශල කාය කර්මයෙන්ද, කුශල වාක් කර්මයෙන්ද, කුශල මනො කර්මයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතු. “මහණෙනි, එහෙයින් ධර්ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්ම තුන දුරුකොට යම් ධර්ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.
7. සාවජ්ජ කම්ම සූත්රය
7. “මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි. කවර තුනකින්ද? “වරද සහිත කාය කර්මයෙන්ද, වරද සහිත වාක් කර්මයෙන්ද, වරද සහිත මනො කර්මයෙන්ද වෙයි. මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි.
“මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතුයි. කවර තුනකින්ද ? නිරවද්ය කාය කර්මයෙන්ද, නිරවද්ය වාක් කර්මයෙන්ද, නරවද්ය මනො කර්මයෙන්ද වෙයි. මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතු. “මහණෙනි, එහෙයින් ධර්ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්ම තුන දුරුකොට යම් ධර්ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.
8. සව්යාපජ්ඣ කම්ම සූත්රය
8. “මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි. කවර තුනකින්ද? “අපරාධ සහිත කාය කර්මයෙන්ද, අපරාධ සහිත වාක් කර්මයෙන්ද, අපරාධ සහිත මනො කර්මයෙන්ද වෙයි. මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි. “මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතුයි. කවර තුනකින්ද ? නිරපරාධ කාය කර්මයෙන්ද, නිරපරාධ වාක් කර්මයෙන්ද, නිරපරාධ මනො කර්මයෙන්ද වෙයි. මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතුය. “මහණෙනි, එහෙයින් ධර්ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්ම තුන දුරුකොට යම් ධර්ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.
9. ඛතත්ත සූත්රය
9. “මහණෙනි, බාලවූ, අදක්ෂවූ, අසත්පුරුෂවූ බාල තෙමේ, නසාගත්, විනාශ කරගත් ආත්මය පරිහරණය කරයි. නුවණැත්තන් විසින් කියයුත්තෙක්, චෝදනා කටයුත්තෙක් වෙයි. බොහෝ අකුසල්ද රැස්කරයි. කවර තුනකින්ද? “කාය දුශ්චරිතයෙන්ද, වාක් දුශ්චරිතයෙන්ද, මනො දුශ්චරිතයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් අදක්ෂ අසත්පුරුෂ බාල තෙම නසාගත්, විනාස කරගත් ආත්මයක් පරිහරණය කරයි. නුවනැත්තන් විසින් කියයුත්තෙක්ද, චෝදනා කටයුත්තෙක්ද වෙයි. බොහෝ අකුසල්ද රැස්කරයි.
“මහණෙනි, ධර්ම තුනකින් යුත් දක්ෂවූ, සත්පුරුෂවූ පණ්ඩිත තෙමේ, නොනසනලද, විනාශ නොකරණලද ආත්මයක් පරිහරණය කරයි. කවර තුනකින්ද යත්, කාය සුචරිතයෙන්ද, වාක් සුචරිතයෙන්ද, මනො සුචරිතයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් දක්ෂවූ සත්පුරුෂවූ පණ්ඩිත තෙමේ නොනසනලද, විනාශ නොකරණලද ආත්මයක් පරිහරණය කරයි. නුවණැත්තන් විසින් නොකියයුත්තෙක්, චෝදනා නොකළ යුත්තෙක් වෙයි. බොහෝ කුසල්ද රැස්කරයි.”
10. මලප්පහාණ සූත්රය
10. “මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලයා මල තුනක් දුරු නොකොට, ගෙන එන ලද්දක් දැමුවාක් මෙන් නිරයෙහි උපදියි. කවර තුනකින්ද? “දුශ්ශීලවූයේ වෙයිද, දුශ්ශීලබව නම් මලය පහ නොකරණ ලද්දේ වේද, ඊෂ්යා කරන්නෙක් වෙයිද, ඊෂ්යා මලය පහනොකරණලද්දේ වෙයිද, මසුරෙක් වෙයිද, මසුරු මල දුරු නොකරණලද්දේ වෙයිද, මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගලයා මේ තුන් මලයන් දුරුනොකොට ගෙන එන ලද්දක් දැමුවාක් මෙන් නිරයෙහි උපදියි.
“මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලයා තුන් මලයන් දුරුකොට, ගෙන එන ලද්දක් දැමුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි. කවර තුනකින්ද? සිල්වතෙක් වෙයිද, දුශ්ශීලභාව මලය පහ කරණ ලද්දේ වෙයිද, ඊෂ්යා නොකරන්නේ වෙයිද, ඊෂ්යා මලය පහකරණලද්දේ වෙයිද, මසුරෙක් නොවෙයිද, මසුරු මල කරණලද්දේ වෙයිද, මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් දැමුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.”
පළමුවෙනි බාල වර්ගය නිමි.