10. මලප්පහාණ සූත්රය
10. “මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලයා මල තුනක් දුරු නොකොට, ගෙන එන ලද්දක් දැමුවාක් මෙන් නිරයෙහි උපදියි. කවර තුනකින්ද? “දුශ්ශීලවූයේ වෙයිද, දුශ්ශීලබව නම් මලය පහ නොකරණ ලද්දේ වේද, ඊෂ්යා කරන්නෙක් වෙයිද, ඊෂ්යා මලය පහනොකරණලද්දේ වෙයිද, මසුරෙක් වෙයිද, මසුරු මල දුරු නොකරණලද්දේ වෙයිද, මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගලයා මේ තුන් මලයන් දුරුනොකොට ගෙන එන ලද්දක් දැමුවාක් මෙන් නිරයෙහි උපදියි.
“මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලයා තුන් මලයන් දුරුකොට, ගෙන එන ලද්දක් දැමුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි. කවර තුනකින්ද? සිල්වතෙක් වෙයිද, දුශ්ශීලභාව මලය පහ කරණ ලද්දේ වෙයිද, ඊෂ්යා නොකරන්නේ වෙයිද, ඊෂ්යා මලය පහකරණලද්දේ වෙයිද, මසුරෙක් නොවෙයිද, මසුරු මල කරණලද්දේ වෙයිද, මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් දැමුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.”
පළමුවෙනි බාල වර්ගය නිමි.
2. රථකාර වර්ගය
සැවැත් නුවර දී ය.
1. ඤාතභික්ඛු සූත්රය
11. “මහණෙනි, ධර්ම තුනකින් යුත් ප්රසිද්ධ භික්ෂුව බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ත්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස පිළිපන්නේ වෙයි. කවර තුනකින්ද? “නුසුදුසුවූ කාය කර්මයන්හි සමාදන් කරවයිද, නුසුදුසු වාක් කර්මයන්හි සමාදන් කරවයිද, නුසුදුසු මනො කර්මයන්හි සමාදන් කරවයිද, මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් ප්රසිද්ධ භික්ෂුතෙම බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ත්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස පිළිපන්නේ වෙයි.
“මහණෙනි, ධර්ම තුනකින් යුත් ප්රසිද්ධ භික්ෂු තෙමේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට අර්ත්ථය පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස පිළිපන්නේ වෙයි. කවර තුනකින්ද? සුදුසුවූ කාය කර්මයන්හි සමාදන් කරවයිද, සුදුසුවූ වාක් කර්මයන්හි සමාදන් කරවයිද, සුදුසුවූ මනො කර්මයන්හි සමාදන් කරවයිද, මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් භික්ෂුතෙමේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට අර්ත්ථය පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස පිළිපන්නේ වෙයි.”
2. යාවජීව සරණීය සූත්රය
12. “මහණෙනි, ඔටුණු පැළැන්දුවාවූ ක්ෂත්රිය රජ විසින් ජීවිතාන්තය දක්වා සිහිකළයුතු කරුණු තුනක් වෙත්. කවර තුනක්ද? “ඔටුණු පළන් ක්ෂත්රිය රජ තෙමේ යම් පෙදෙසක උපන්නේ වේද, මහණෙනි, මේ ඔටුණු පළන් ක්ෂත්රිය රජ විසින් ජීවිතාන්තය දක්වා සිහිකළයුතු පළමුවැනි කාරණය වෙයි.
“නැවතද, ඔටුණු පළන් ක්ෂත්රිය රජ තෙමේ යම් පෙදෙසක ඔටුණු පැළැන්දේ වෙයිද, මහණෙනි, මේ ඔටුණු පළන් ක්ෂත්රිය රජ විසින් ජීවිතාන්තය දක්වා සිහිකළයුතු දෙවැනි කාරණය වෙයි.
“මහණෙනි, නැවතද, ඔටුණු පළන් ක්ෂත්රිය රජ තෙමේ යුද්ධයකින් ජයගෙන දිනන ලද යුද්ධ ඇත්තේ, ඒ යුද්ධ භූමියට අධිපතිව වාසය කරයිද, මහණෙනි, මේ ඔටුණු පළන් ක්ෂත්රිය රජ විසින් ජීවිතාන්තය දක්වා සිහිකළයුතු තුන්වැනි කාරණය වෙයි. මහණෙනි, මේ වනාහි ඔටුණු පළන් ක්ෂත්රිය රජ විසින් ජීවිතාන්තය දක්වා සිහිකළයුතු කරුණු තුන වෙත්.
“මහණෙනි, එසේම භික්ෂුව විසින් ජීවිතාන්තය දක්වා සිහි කළ යුතු මේ කරුණු තුනක් වෙත්.කවර තුනක්ද යත්. මහණෙනි. භික්ෂු තෙමේ යම් පෙදෙසක හිස රැවුල් කපා කසාවත් හැඳ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවුයේද. මහණෙනි. මේ භික්ෂුව විසින් ජීවිතාන්තය දක්වා සිහිකළයුතු පළමුවැනි කාරණය වෙයි.