2. 3. 12. 9.
22. “මහණෙනි, දෙදෙනෙකුන් කෙරෙහි මනාසේ පිළිපදනාවූ, ව්‍යක්තවූ, සත්පුරුෂවූ, ප්‍රාඥතෙම සාරා නොදමන ලද ගුණ ඇති, නොම නසන ලද ගුණ ඇති, ආත්මයක් රක්‍ෂා කෙරෙයි. නුවණැත්තන්හට උපවාද රහිතවූයේ, නිර්දෝෂ වූයේද වේ. බොහෝ කුසල්ද රැස් කෙරෙයි. කවර දෙදෙනෙකුන් කෙරෙහිද යත්, “මව කෙරෙහිද, පියා කෙරෙහිද (යන දෙදෙන කෙරහිය.) “මහණෙනි, මේ දෙදෙන කෙරෙහි වනාහි, මනාසේ පිළිපදනාවූ, ව්‍යක්තවූ, සත්පුරුෂවූ ප්‍රාඥතෙම, නොම සාරා දමනලද ගුණ ඇති, නොම නසනලද ගුණ ඇති ආත්මයක් පරිහරණය (පෝෂණය) කෙරෙයි. නුවණැත්තන්හට උපවාද රහිතවූයේ, නිර්දෝෂ වූයේද වේ. (හෙතෙම) බොහෝ කුසල්ද රැස් කෙරෙයි.”
2. 3. 12. 10.
23. “මහණෙනි, දෙදෙනෙකුන් කෙරෙහි වරදවා පිළිපදනාවූ, අව්‍යක්තවූ, අසත්පුරුෂවූ, බාල තෙම සාරා (උදුරා) දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති, ආත්මයක් රක්‍ෂා කෙරෙයි. නුවණැත්තන්හට උපවාද සහිතවූයේ, වරද සහිතවූයේද වේ. බොහෝ අකුසල්ද රැස් කෙරෙයි. කවර දෙදෙනෙකුන් කෙරෙහිද යත්, “තථාගතවන් වහන්සේ කෙරෙහිද, තථාගත ශ්‍රාවයක් වහන්සේ කෙරෙහිද (යන දෙදෙන කෙරහිය.) “මහණෙනි, මේ දෙදෙන කෙරෙහි වනාහි, වරදවා පිළිපදනාවූ, අව්‍යක්තවූ, අසත්පුරුෂවූ බාලතෙම, සාරා දමනලද ගුණ ඇති, නසනලද ගුණ ඇති ආත්මයක් පරිහරණය (පෝෂණය) කෙරෙයි. ප්‍රාඥයන්ට උපවාද සහිතවූයේ, වරද සහිත වූයේද වෙයි. හෙතෙම බොහෝ අකුසල්ද රැස් කෙරෙයි.”
2. 3. 12. 11.
24. “මහණෙනි, දෙදෙනෙකුන් කෙරෙහි මනාසේ පිළිපදනාවූ, ව්‍යක්තවූ, සත්පුරුෂවූ, ප්‍රාඥතෙම සාරා නොදමන ලද ගුණ ඇති, නොම නසන ලද ගුණ ඇති, ආත්මයක් රක්‍ෂා කෙරෙයි. නුවණැත්තන්හට උපවාද රහිතවූයේ, නිර්දෝෂ වූයේද වේ. බොහෝ කුසල්ද රැස් කෙරෙයි. කවර දෙදෙනෙකුන් කෙරෙහිද යත්, “තථාගතවන් වහන්සේ කෙරෙහිද, තථාගත ශ්‍රාවයක් වහන්සේ කෙරෙහිද (යන දෙදෙන කෙරහිය.) “මහණෙනි, මේ දෙදෙන කෙරෙහි වනාහි, මනාසේ පිළිපදනාවූ, ව්‍යක්තවූ, සත්පුරුෂවූ ප්‍රාඥතෙම, නොම සාරා දමනලද ගුණ ඇති, නොම නසනලද ගුණ ඇති ආත්මයක් පරිහරණය (පෝෂණය) කෙරෙයි. නුවණැත්තන්හට උපවාද රහිතවූයේ, නිර්දෝෂ වූයේද වේ. (හෙතෙම) බොහෝ කුසල්ද රැස් කෙරෙයි.”
2. 3. 12. 12.
25. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ස්වකීය චිත්තයාගේ පිරිසිදු බවද, ලෝකයෙහි කිසිවක් දැඩි (උපාදාන වශයෙන්) නොගැනීමද (යන දෙදෙනයි.) මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකකි.”
2. 3. 12. 13.
26. “මහණෙනි, මේ ධර්‍මයෝ (ස්වභාවයෝ) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ක්‍රෝධයද, බද්ධ වෛරයද (යන දෙදෙනයි.) මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකකි.”
2. 3. 12. 14.
27. “මහණෙනි, මේ ධර්‍මයෝ (ස්වභාවයෝ) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ක්‍රෝධය මැඩ පැවැත්වීමද, බද්ධ වෛරය මැඩලීමද (යන දෙදෙනයි.) මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකකි.”
දෙවැනි ආයාචන වර්‍ගයයි.