2. 2. 9. 2.
38. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ප්‍රග්‍රහය (වීර්‍ය්‍යය)ද, අවික්‍ෂෙපය (සිතෙහි එකඟ බව)ද (යන දෙදෙන) වෙත්. “මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙන වෙත්.
2. 2. 9. 3.
39. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “නාමයද, රූපයද (යන දෙදෙන) වෙත්. “මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙන වෙත්.
2. 2. 9. 4.
40. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “විද්‍යාව (සතරඵල ඥානයද), විමුක්තියද (යන දෙදෙන) වෙත්. “මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙන වෙත්.
2. 2. 9. 5.
41. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “භව (ශාස්වත) දෘෂ්ටියද, විභව (උච්ඡේද) දෘෂ්ටියද (යන දෙදෙන) වෙත්. “මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙන වෙත්.
2. 2. 9. 6.
42. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “පව් කිරීමෙහි ලජෆ්ජා රහිත බවද, පව් කිරීමෙහි බිය නොවන බවද (යන දෙදෙන) වෙත්. “මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙන වෙත්.
2. 2. 9. 7.
43. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “පව් කිරීමෙහි ලජ්ජා ඇති බවද, පව් කිරීමෙහි බියද (යන දෙදෙන) වෙත්. “මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙන වෙත්.
2. 2. 9. 8.
44. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “දුර්‍වච (අකීකරු) බවද, පාප මිත්‍රයන් ඇති බවද (යන දෙදෙන) වෙත්. “මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙන වෙත්.
2. 2. 9. 9.
45. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “සුවච (කීකරු) බවද, කල්‍යාණ මිත්‍රයන් ඇති බවද (යන දෙදෙන) වෙත්. “මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙන වෙත්.
2. 2. 9. 10.
46. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ධාතුකුශලත්‍වය (ධාතූන් දැකීමෙහි දක්‍ෂබව)ද, මනසිකාර කුශලත්‍වය (අනිත්‍යාදී ලක්‍ෂණ දැකීමෙහි දක්‍ෂබව)ද (යන දෙදෙන) වෙත්. “මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙන වෙත්.
2. 2. 9. 11.
47. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ආපත්ති කුසලත්‍වය (ඇවැත් දැකීමෙහි දක්‍ෂභාවය)ද, ආපත්ති උට්ඨාන කුසලත්‍වය (ඇවතින් නැඟීමෙහි හෙවත් මිදීමෙහි දක්‍ෂකම)ද යන මේ දෙදෙන වෙත්. “මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙන වෙත්.
සතරවැනි වර්‍ගය නිමි.
(10) 5. බාල වර්‍ගය
සාවත්ථි නිදානයි
2. 2. 10. 1.
48. “මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් (තමා වෙත) නොපැමිණි බර උසුලයිද, යමෙක් (තමා වෙත) පැමිණි බර නොඋසුලයිද, යන දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි බාලයෝ (අඥානයෝ) වෙත්.”
2. 2. 10. 2.
49. “මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් (තමා වෙත) පැමිණියාවූ බර උසුලයිද, යමෙක් (තමා වෙත) නොපැමිණියාවූ බර නොඋසුලයිද යන (දෙදෙනයි). “මහණෙනි, මේ දෙදෙන වනාහි පණ්ඩිතයෝ වෙත්.”